ලංකා බණ්ඩාරනායක සහ ජූඩ් රත්නම් ලොකර්නෝ යති

Avatar Nisanka Weheraduwa | July 16, 2018 83 Views 0 Likes 0 Ratings

83 Views 0 Ratings Rate it

ලෝකර්නෝ අන්තර්ජාතික සිනමා උළෙලේ (Open doors) කාණ්ඩය සඳහා ශ්‍රී ලාංකික සිනමාකරුවන් දෙදෙනෙකුගේ නිර්මාණ තෝරාගෙන ඇති බව Locarno festival වෙබ් අඩවිය පසුගියදා නිවේදනය කළා. Locarno සිනමා උළෙලේ වෘතාන්ත චිත්‍රපට සහ කෙටි චිත්‍රපට යන අංශ දෙක සඳහා මෙලෙස ලාංකික චිත්‍රපට දෙකක් තේරී තිබෙනවා.  ජූඩ් රත්නම් නිර්මාණය කළ වෘතාන්ත වාර්තා චිත්‍රපටයක් සහ ලංකා බණ්ඩාරනායක නිර්මාණය කළ කෙටි චිත්‍රපටයක් මෙලෙස තේරී ඇතැයි සඳහන්. Open Doors කාණ්ඩය යටතේ දකුණු ආසියානු කලාපයේ නිර්මාණ කරුවන් පිරිසකගේ නිර්මාණ මෙලෙස තෝරාගෙන තිබෙනවා. ඇෆ්ගනිස්තානය, බංග්ලාදේශය, භූතානය, මියන්මාරය, නේපාලය, පකිස්තානය සහ ශ්‍රී ලංකාව යන රටවල් අතුරින් මෙලෙස නිර්මාණ තෝරාගෙන තිබෙනවා.

ලංකා බණ්ඩාරනායක නිර්මාණය කළ Tradition හෙවත් “සම්ප්‍රදාය” කෙටි චිත්‍රපටයත් මෙවර ලෝකර්නෝ සිනමා උළෙලේ Open doors කාණ්ඩය යටතේ තෝරාගෙන තිබෙනවා. සාම්ප්‍රදායික විවාහ මංගල්‍ය අවස්ථාවකදී මිත්තනියක් තරුණියකට සාම්ප්‍රදායික ආභරණ පළඳවන අතරතුර ඒ ආභරණ කොටස් වලින් කියවෙන අර්ථය පැහැදිලි කරදෙන අයුරු සහ එය අගේ ජීවිතය සමග සම්බන්ධ වන අයුරු ඇසුරින් මෙම චිත්‍රපටය නිර්මාණය කොට තිබෙනවා. මීට පෙර අවස්ථා කිහිපයකදී ජාත්‍යන්තර වශයෙන් ඇය මෙම කෙටි චිත්‍රපටය සඳහා සම්මාන දිනාගෙන තිබෙනවා. මෙවර ලෝකර්නෝ සිනමා උළෙලේ කෙටි චිත්‍රපට අංශයට මෙම නිර්මාණය තෝරාගෙන තිබෙනවා. රංගන ශිල්පිනියක් ලෙස වෘත්තීය ජීවිතය ආරම්භ කරන ලංකා, 1998 සිට මේ දක්වා සම්මානනීය රංගන ශිල්පිනියක්, ඇඳුම් නිර්මාණ ශිල්පිනියක් සහ නාට්‍යවේදිනියක් ලෙස කටයුතු කොට තිබෙනවා. Tradition ඇගේ පලමු කෙටි චිත්‍රපට නිර්මාණයද වනවා.

Jude Rathnam නිර්මාණය කළ Demons in paradise චිත්‍රපටය ප්‍රංශය සහ ශ්‍රී ලංකාවේ නිෂ්පාදනයක්. 2017 වසරේ නිර්මාණය වුනු මෙම චිත්‍රපටය ශ්‍රී ලංකාවේ වාර්ගික යුද්ධය සහ ඒ ආශ්‍රිත දේශපාලනික වටපිටාව ඇසුරින් නිර්මාණය වූවක්. සත්‍ය සිදුවීම් සහ චරිත පදනම් කරගනිමින් ජූඩ් මෙම චිත්‍රපටය වාර්තා චිත්‍රපට ශානරයෙන් නිර්මාණය කොට තිබුනා.

 

Share

83 Views 0 Ratings Rate it

Written by Nisanka Weheraduwa



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.