ඉදිරියේදී තිරගත වන චිත්‍රපට නමයක් දැන්ම නැරඹීමට අවස්ථාවක්!! DGSL සිනමාභිමාන – 2023

Avatar Kavinu Weerakkody | March 9, 2023 435 Views 0 Likes 0 Ratings

435 Views 0 Ratings Rate it

ශ්‍රී ලංකා සිනමා අධ්‍යක්ෂකවරුන්ගේ සංසදය විසින් සංවිධානය කෙරෙන “සිනමාභිමාන 2023” සිනමා උළෙල, දිවයිනේ තෝරාගත් සිනමාහල් ගණනාවකදී මාර්තු 13 වනදා සිට ඇරඹීමට නියමිතයි.
මාර්තු මස 13වනදා සිට 24 වනදා දක්වා පැවැත්වෙන මෙම උළෙල හරහා, මෙතෙක් තිරගත නොවූ නවතම ලාංකීය සිංහල සිනමාපට 09ක් නැරඹීමට රසිකයින්ට අවස්ථාව හිමිවනවා.

මෙය පැවැත්වෙන්නේ මෙරට සිනමා කර්මාන්තයට සම්බන්ධව කටයුතු කරන අධ්‍යක්ෂකරුවන්ගේ නිල සාමූහිකය වන “ශ්‍රී ලංකා සිනමා අධ්‍යක්ෂකවරුන්ගේ සංසදය”ට (DGSL – Film Directors Guild of Sri Lanka) වසර 10ක් පිරීම නිමිති කරගෙනයි. සිනමාභිමාන 2023 උළෙලේ සම්පූර්ණ අනුග්‍රහය දරනු ලබන්නේ අවුරා ලංකා එන්ටටේන්මන්ට් සමාගම විසිනුයි.

මෙහි ප්‍රදර්ශනය සඳහා දිගු වෘතාන්ත සිනමාපට නවයක් තෝරාගෙන තිබෙන අතර දිවයින පුරා සිනමාශාලා 16කදී ඒවා ප්‍රදර්ශනය කිරීමට නියමිතව තිබෙනවා. මාර්තු 13 සිට 24 දක්වා එම සෑම සිනමා හලකම සවස දර්ශන වාරය DGSL – සිනමාභිමාන 2023 සඳහා වෙන්වනවා.

රසිකයින්ව ලාංකීය සිනමාවට රඳවා තබා ගැනීමේ අරමුණින් පැවැත්වෙන මෙම සිනමා උළෙල ආරම්භ වන්නේ චන්න පෙරේරා අධ්‍යක්ෂණය කළ “සිහින අනන්තේ” චිත්‍රපටයත් සමඟයි. එය මාර්තු 13 වනදා සඳුදා තිරගත වන අතර මාර්තු 14 වනදා තිරගත වන්නේ දේවින්ද කෝන්ගහගේ අධ්‍යක්ෂණය කළ “ගිරිවැසිපුර” සිනමාපටයයි. මාර්තු 15 වනදා සුරංග ද අල්විස්ගේ “කිඩ්නැප්” සහ මාර්තු 16 වනදා ජයන්ත චන්ද්‍රසිරිගේ “මිදුනු විශ්වය” තිරගත වනවා. මාර්තු 20වන සඳුදා දින වෙන්වන්නේ ආචාර්ය සෝමරත්න දිසානායකගේ “සිංහබාහු” සඳහායි. සුදේශ වසන්ත පීරිස් අධ්‍යක්ෂණය කළ “සීරුවෙන්” සිනමාපටය මාර්තු 21 තිරගත වනවා. මාර්තු 22 වනදා ක්‍රිෂ් ඇන්තනිගේ “පාස්පෝට්” සහ මාර්තු 23 වනදා ප්‍රදර්ශනය කරන්නේ අරුණ ජයවර්ධනගේ “1970 ලව් ස්ටෝරි” සිනමාපටයයි.
මාර්තු 24 වනදා උදයකාන්ත වර්ණසූරිය අධ්‍යක්ෂණය කළ නවතම නිර්මාණය, “රිදී සීනු” සමඟින් සිනමාභිමාන චිත්‍රපට උළෙලෙහි 2023 දිගහැරුම අවසාන වනවා.

තිරගත වන නිර්මාණවල සම්පූර්ණ නාමාවලිය පහතින් දක්වා තිබෙන අතර අදාළ දිනවලදී තෝරාගත් සිනමාශාලා 16 තුළම මෙම චිත්‍රපට එකවර ප්‍රදර්ශනය වීම විශේෂත්වයක්.

සිනමාපට ප්‍රදර්ශනයට අමතරව මෙරට සිටින ජ්‍යෙශ්ඨ කලාකරුවන්ට උපහාර පිදීමක් ද මෙහිදී සිදුවනවා. මාර්තු මස 17වනදා බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී එම උපහාර උත්සවය පැවැත්වීමට කටයුතු සූදානම් කොට තිබෙන අතර මෙරට සිනමාවේ 60-70-80 දශක නියෝජනය කළ ජ්‍යෙශ්ඨ කලා ශිල්පීන් දස දෙනෙකු සඳහා එහිදී ප්‍රණාම සම්මාන පිරි නැමෙනවා. එහිදී සම්මානයට පාත්‍ර වන්නේ,
තිස්ස ලියනසූරිය
සුගතපාල සෙනරත් ද යාපා
ධර්මසිරි බණ්ඩාරනායක
සුනිල් ආරියරත්න
සුමිත්‍රා පීරිස්
මාලිනී ෆොන්සේකා
සේන සමරසිංහ
නීල් රූපසිංහ
චන්ද්‍රන් රත්නම්
හේමසිරි සෙල්ලප්පෙරුම යන මෙරට සිනමාවට දැවැන්ත සේවයක් කළ ප්‍රවීණ කලාකරුවන් දස දෙනායි.

“DGSL සිනමාභිමාන 2023” උළෙලට සිනමාශාලා සම්බන්ධ කරගැනීමේදී පවා සංවිධායක මණ්ඩලය හොඳින් එම තේරීම් කටයුතු සිදු කොට තිබෙනවා. ඊට හේතුව වන්නේ මේ සඳහා එකතු කරගෙන තිබෙන්නේ නවීකරණය කළ 2K Digital සිනමාශාලා පමණක් වීමයි. ඒ අයුරින් දිවයිනේ ප්‍රදේශ රැසක් ආවරණය වන ආකාරයට 2K Digital සිනමාහල් 16ක් මෙම වැඩසටහනට එකතු කරගැනීමට ඔවුන්ට හැකිව තිබෙනවා.

CCC – කොළඹ, සැවෝයි ප්‍රිමියර් – වැල්ලවත්ත, PVR – කොළඹ, KCC – මහනුවර, ලිබර්ටි – කොල්ලුපිටිය, ස්කයිලයිට් – මාළඹේ, ලයිට් සිනමා – හෝමාගම, වොක්ස් ලයිට් – අවිස්සාවේල්ල, ලිබර්ටි – කිරිබත්ගොඩ, විස්ටා ලයිට් – ජා ඇල, රීගල් – ගම්පහ, මැක්ස් ලයිට් – මොරටුව, නිව් ඉම්පීරියල් – කුරුණෑගල, නිව් ඉම්පීරියල් – රත්නපුර, මිලානෝ – කෑගල්ල, ස්කයි ලයිට් – මාතර යන සිනමාහල් තුළදී මෙම චිත්‍රපට උළෙල රස විඳිය හැකියි.
සිනමා උළෙල වෙනුවෙන් විශේෂ වැඩිපුර මුදලක් අය නොකරන අතර අදාළ සිනමාශාලාවේ සාමාන්‍ය ටිකට්පත් මිලටම ඔබට මෙය නරඹන්නට පුලුවන්.

මෙය පිළිබඳව මාධ්‍ය සාකච්ඡාවකුත් පසුගියදා ජාතික චිත්‍රපට සංස්ථා තරංගනී පරිශ්‍රයේදී පැවැත්වුනු අතර සිනමා අධ්‍යක්ෂකවරුන්ගේ සංසදය විසින් “DGSL සිනමාභිමාන 2023” උළෙල ගැන පුළුල් විස්තර කිරීමක් එහිදී ලබා දුන්නා. උළලේ තිරගත වන චිත්‍රපට 09 තෝරාගෙන තිබෙන්නේ සම්පූර්ණ සිනමාපට 118ක් අතුරෙන් බවයි ඔවුන් එහිදී පැවසුවේ…
එමෙන්ම මෙය වාර්ෂිකව පැවැත්වීමට සැලසුම් කර තිබෙන බවත්, එළඹෙන වසරේ සිට මෙම උළෙල සංවිධානය වන්නේ ජනවාරි මාසයේදී බවත් එහිදී මාධ්‍යයට අණාවරණය කළා.

 

Share

435 Views 0 Ratings Rate it

Written by Kavinu Weerakkody


  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.