‘රිදීසිනු’ අද සිට දිවයින පුරා සිනමා හල්වලදී

Avatar Kavinu Weerakkody | March 23, 2024 126 Views 0 Likes 0 Ratings

126 Views 0 Ratings Rate it

මෙරට සිටින ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකු වන උදයකාන්ත වර්ණසූරිය මහතා විසින් අධ්‍යක්ෂණය කළ, ඔහුගේ 26වන සිනමාපටය, “රිදීසීනු” නමින් අද (මාර්තු 22) සිට දිවයින පුරා සිනමා ශාලා රැසක තිරගත වීම ඇරඹෙනවා.

මෑතකාලීන ලාංකීය සිනමාවේ අතිශය ජනප්‍රිය චිත්‍රපට රැසක අධ්‍යක්ෂකවරයා වන උදයකාන්ත වර්ණසූරිය මේ අයුරින් නැවතත් ළමා චිත්‍රපටයක් නිර්මාණය කරන්නේ සෑහෙන කාලයකට පසුවයි. මීට පෙර ඔහු අධ්‍යක්ෂණය කළ රන්කෙවිට – රන්කෙවිට 02 වැනි ළමා චිත්‍රපටිත් මෙරට සිනමා රසිකයින්ගේ විශාල ජනාදරයට පත්වුනා.

ඔහුගේ නවතම නිර්මාණය වන මේ “රිදී සීනු” සිංහල සිනමාපටයට පාදක වී තිබෙන්නේ එක්තරා පාසලකින් අතුරුදහන් වන සීනුවක් ගැන කතාවකුයි. පවන් සහ ධරණී ගමේ පාසලින් අධ්‍යාපනය ලබන, එකම පවුලේ සහෝදර සහෝදරියන් දෙපළක්. ධරණී, අධ්‍යාපනයට මුල්තැන දෙන පාසල් වැඩ කටයුතු හොඳින් සිදු කරන දරුවෙකු වුවත්, ඇගේ බාල සොහොයුරා පවන් නම් අධ්‍යාපනයට එතරම් කැමැත්තක් දක්වන්නේ නැහැ.

පවන් දිනපතා පාසලට පැමිණෙන්නේ ද බොහෝ ප්‍රමාද වී නිසා, ඔහු නිතරම ගුරුවරුන්ගේ දඬුවමට ලක්වනවා. මේ ගැන තරහින් සිටිනා පවන්, දිනෙක සිය මිතුරා සමඟ එක්ව පාසලේ සීනුව සොරකම් කරන අතර සෑමදෙනාටම හොරෙන් ඔවුන් එය ගෙන ගොස් ගඟකට විසි කරනවා.
පාසලේ සීනුව සොරකම් කවුරුන් හෝ සොරකම් කර තිබෙන බව ගුරුවරුන් විසින් දැනගත් පසුව ඔවුන් ඒ ගැන සොයන්නට පටන් ගන්නවා.

“රිදී සීනු” චිත්‍රපටයට පාදක වන්නේ පවන්ගේ මේ සොරකමින් පසුව ඔහුට මුහුණ දෙන්නට සිදුවන සිදුවීම් මාලාවක් සහ බණ්ඩාර නැමැති කාරුණික ගුරුවරයාගේ මැදිහත්වීමෙන් ඒ පාසලෙ හි දරුවන්ගේ ජීවිත වෙනස් වන ආකාරයයි.

ඉසුරු ලොකුහෙට්ටිආරච්චි, උපේක්ෂා ස්වර්ණමාලි, රවීන්ද්‍ර රන්දෙණිය, රොජර් සෙනෙවිරත්න, ශ්‍යාම් ප්‍රනාන්දු, සනත් ගුණතිලක වැනි ප්‍රවීණ සහ ජනප්‍රිය නලු නිළියන් රැසක් “රිදී සීනු” චිත්‍රපටයේ රංගනයෙන් දායක වනවා. ප්‍රධන ළමා චරිත රඟපාන්නේ චාහෙල් රගීත් සමඟින් සෙලීනා ටුවින්කි යි.

පසුගිය 2022 වසරේදී කොළඹ, කුරුණෑගල ඇතුළු ප්‍රදේශ රැසකදී මෙහි රූපගත කිරීම් සිදුවුනා.

චිත්‍රපටයේ නිල පූර්ව ප්‍රචාරක පටය පහතින්:

චිත්‍රපටයේ අධ්‍යක්ෂණය මෙන්ම තිර පිටපත රචනා කර තිබෙන්නේ ද උදයකාන්ත වර්ණසූරිය විසිනි. නිශාන්ත ප්‍රදීප් හේමචන්ද්‍ර මෙහි කැමරා අධ්‍යක්ෂකවරයායි. මේඝ කොළඹගේ සංස්කරණයෙන් සහ අශෝක ආරියරත්න නිෂ්පාදන කළමනාකරණයෙන් රිදීසීනු චිත්‍රපටයට සම්බන්ධ වනවා. ඇහැලියගොඩ සෝමතිලක මෙම චිත්‍රපටයේ කලා අධ්‍යක්ෂකවරයායි. අංග රචනයෙන් සංජය නිපුනආරච්චි ද, සහාය අධ්‍යක්ෂණයෙන් ඩොනල්ඩ් ජයන්ත ද මීට සම්බන්ධ වනවා.

රිදීසීනු චිත්‍රපටයේ සංගීත නිර්මාණකරණය සිදුව තිබෙන්නේ මහේෂ් දෙනිපිටිය සහ උදාර සමරවීර එකතුවෙනුයි. සුනිල් එදිරිසිංහ, ප්‍රණීත් පෙරේරා, සුවිනි ගමගේ වැනි පිරිසක් චිත්‍රපටයේ ගීත ගායනය සිදු කරන අතර ගීපද රචනය නිලාර් එම් කාසිම්, කුලරත්න ආරියවංශ විසිනි.

රිදීසීනු චිත්‍රපටයේ නිෂ්පාදන දායකත්වය SeeSilan Films වෙනුවෙන් නිශාන් හේවාගමගේ යි. අධ්‍යක්ෂක උදයකාන්ත වර්ණසූරිය ද මීට සහාය නිෂ්පාදනයෙන් එක්ව තිබෙනවා.

අද සිට දිවයින පුරා සිනමා ශාලා රැසකදී රසික ඔබටත්, පවුලේ සැමටත්, රිදීසීනු සිනමාපටය නැරඹිය හැකියි.

රිදීසීනු චිත්‍රපටයට අමතරව උදයකාන්ත වර්ණසූරියගේ තවත් අලුත්ම චිත්‍රපටයක පසු නිෂ්පාදන කටයුතු ද මේ දිනවල සිදුවනවා. ඒ 1998 වසරේදී අධ්‍යක්ෂණය කළ, ඔහුගේ දෙවන චිත්‍රපටය වන ‘ගිනිඅවි සහ ගිනිකෙළි’ හි දෙවන කොටස වන “ගිනිඅවි සහ ගිනිකෙළි: Chapter 02 (The Hunt Begins)” සිනමා නිර්මාණයයි.

රිදීසීනු මෙන්ම එහි ප්‍රධාන චරිතය රඟපාන්නේත් ඉසුරු ලොකුහෙට්ටිආරච්චියි. අධ්‍යක්ෂක උදයකාන්ත වර්ණසූරිය පවසන පරිදි, විසිපස් වසරක ඔහුගේ සිනමා ජීවිතය තුළ වැඩිම වෙහෙසක් දරා රූගත කළ චිත්‍රපටය වන්නේ ද එයයි.

Share

126 Views 0 Ratings Rate it

Written by Kavinu Weerakkody


  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.