දෙරණ Cinema for Tomorrow – මෙතෙක් නොදුටු නවතම ලාංකීය චිත්‍රපට 06ක්!

Avatar Kavinu Weerakkody | August 31, 2023 240 Views 0 Likes 1 On 1 Rating

240 Views 1 On 1 Rating Rate it

දෙරණ මාධ්‍ය ජාලය විසින් පවත්වනු ලබන Derana Lux Film Awards හි අටවන දිගහැරුම එළඹෙන සැප්තැම්බර් මාසයේදී, මෙරට ජනප්‍රිය නලු නිළියන් ගණනාවකගේ සහභාගීත්වයෙන්, අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට නියමිතයි.

එම සම්මාන උළෙලට සමගාමීව “Cinema for Tomorrow” නමින්, නවතම ලාංකීය චිත්‍රපට කිහිපයක පුළුල් තිර ප්‍රදර්ශනයක් ද සංවිධානය වන අතර, නුදුරු අනාගතයේදී මෙරට සිනමා ශාලාවලට නිකුත් වීමට නියමිතව තිබෙන ලාංකීය සිනමාපට ගණනාවක්ම රස විඳීමට ප්‍රේක්ෂකයින්ට එහිදී අවස්ථාව උදා වනවා.

මෙවර “Cinema for Tomorrow (හෙට දවසේ සිනමාව)” චිත්‍රපට ප්‍රදර්ශනය පැවැත්වීමට සූදානම් කර තිබෙන්නේ, ජාතික චිත්‍රපට සංස්ථා පරිශ්‍රයේ තරංගනී ශාලාවේදී, සැප්තැම්බර් 02 – 03 දෙදින පුරායි. සැප්තැම්බර් 02 සහ 03 වනදා උදෑසන දහයේ සිට සවස හය දක්වා අලුත්ම ලාංකීය චිත්‍රපට හයක් නැරඹීමට ඔබට දැන් හැකියාව තිබෙනවා. මෙවර “Cinema for Tomorrow” යටතේ තිරගත වන්නේ මාරියා, සන් කරමි, පාස්පෝට්, දුස්රා, රහස් කියන කඳු සහ මනල් යන ලාංකීය සිනමා නිර්මාණ පෙළයි.

විශේෂත්වය වන්නේ සිනමා උළෙල සඳහා ඇතුල් වීම සම්පූර්ණයෙන්ම නොමිලේ වීමයි..!!

සැප්තැම්බර් 02 – උදෑසන 10.30 – මාරියා
සැප්තැම්බර් 02 – සවස 2.30 – සන් කරමි
සැප්තැම්බර් 02 – සවස 6.00 – රහස් කියන කඳු
සැප්තැම්බර් 03 – උදෑසන 10.30 – පාස්පෝට්
සැප්තැම්බර් 03 – සවස 2.30 – දුස්රා
සැප්තැම්බර් 03 – සවස 6.00 – මනල්

මාරියා (Maaria: The Ocean Angel) | අධ්‍යක්ෂණය – අරුණ ජයවර්ධන

ගැඹුරු මුහුදේ මසුන් මරන ධීවරයන් සය දෙනෙකු, නීතී විරෝධීව ඕස්ට්‍රේලියාවට පැන යාමට උත්සාහ කරන තරුණයෙක් සහ සාගරය මැදදී ධීවර පිරිසට හමුවන අද්භූත ලිංගික බෝනික්කෙකු වටා ගෙතී ඇති “මාරියා” ඉන්ද්‍රජිත් සිල්වාගේ නිෂ්පාදනයකි. දසුන් පතිරණ, හේමාල් රණසිංහ, මහේන්ද්‍ර පෙරේරා, ප්‍රියන්ත සිරිකුමාර, දර්ශන් ධර්මරාජ් , අශාන් ඩයස් සහ සුරන් දසනායක යන අයගේ රංගනයෙන් හැඩවෙන “මාරියා” හි කැමරාකරණය චන්න දේශප්‍රියගෙනි.

2022 වසරේදී රුසියාවේ මොස්කව් අන්තර්ජාතික සිනමා උළෙල නියෝජනය කරමින් ජාත්‍යන්තර සිනමා උළෙල ගමන් ඇරඹූ “මාරියා”, එම වසරේදීම ඉන්දියානු අන්තර්ජාතික සිනමා උළෙලේ ප්‍රධාන තරගකාරී අංශය නියෝජනය කිරීමට සමත්විය. මොස්කව් උළෙල හා ඉන්දියානු සිනමා උළෙල (ගෝව) ද්විත්වයට අමතරව , රුසියාවේ යල්ටා, වියට්නාමයේ හැනෝයි, ඉන්දියාවේ කේරළ, ඉන්දියාවේ කොල්කටා, ඉන්දියාවේ ජයිපූර්, බංගලාදේශයේ ඩකා යන උළෙලවල් නියෝජනය කිරීමටද මාරියා සමත් විය. මේ වන විට අන්තර්ජාතික සිනමා උළෙල 08 ක් නියෝජනය කොට ඇති මාරියා දිනා ඇති අන්තර්ජාතික සිනමා සම්මාන සංඛ්‍යාව 03 කි.

තිරගත වූ “නිකිණි වැස්ස” (2013) , “හැපී බර්ත්ඩේ” (2022) සහ තිරගත වීමට නියමිත “1970 ලව් ස්ටෝරි” චිත්‍රපට අධ්‍යක්ෂක කළ අරුණ ජයවර්ධනගේ තෙවන සිනමා අධ්‍යක්ෂණය “මාරියා” වේ. 2012 වසරේ පැවති පළමු දෙරණ සිනමා උළෙලේ “Cinema of Tomorrow” අංශය නියෝජනය කරමින් “නිකිණි වැස්ස” චිත්‍රපට වෙනුවෙන් “මතු බලාපොරොත්තු සහගත නවක අධ්‍යක්ෂකවරයා” සම්මානයෙන් පිදුම් ලද අරුණ ජයවර්ධන, එකී අංශය යටතේ තරග වදින දෙවන අවස්ථාව මෙය වේ.

සන් කරමි (Teach Me) | අධ්‍යක්ෂණය – ශ්‍යාම් ප්‍රනාන්දු

ඔබ නැතුව ඔබ එක්ක, ප්‍රේමය නම් හා ඇවිලෙනසුලුයි චිත්‍රපට තුළ ප්‍රධාන පිරිමි භූමිකාවට පන පොවමින් ප්‍රේක්ෂක හා විචාරක ප්‍රශංසාවට ලක් වූ රංගන ශිල්පී ශ්‍යාම් ප්‍රනාන්දුගේ කුළුලුල් අධ්‍යක්ෂණය ලෙසින් “සන් කරමි” චිත්‍රපටය එළිදකී.

පාසලකට ඇතුල් කිරීමට නොහැකි වූ තම දරුවා හේතුකොටගෙන, මෙරට අධ්‍යාපන ක්‍රමය වෙනස් කිරීමට උත්සාහ දරන වනජීවී නිළධාරියකු වටා ගෙතී ඇති “සන් කරමි” ක්‍රිෂාන්ති එලිසබෙත්, අසිත සිල්වා හා ශ්‍යාම් ප්‍රනාන්දුගේ හවුල් නිෂ්පාදනයකි.

මයුර පෙරේරා, උමා අසේනි, මොහාන් රාජ් මඩවල, චින්තක වාස්, රංගි රාජපක්ෂ, තරුෂි කරුණාරත්න, තුමිත ප්‍රනාන්දු, ශෝන් නතාන් යන අයගේ රංගනයෙන් හැඩවෙන “සන් කරමි” හි කැමරාකරණය පුෂ්පිත නිර්මාල්ගෙනි. සංගීතයෙන් කෙවින් ඇන්ජෙලෝ තමෙල්, ශබ්ද පරිපාලනයෙන් සසික රුවන් මාරසිංහ සහ සංස්කරණයෙන් අකිල ශ්‍යාමේන්ද්‍ර චිත්‍රපටයට දායක වේ.

රහස් කියන කඳු (Whispering Mountains) | අධ්‍යක්ෂණය – ජගත් මනුවර්ණ

මිත්‍යා විශ්වාස, අරගල, භීෂණ, ප්‍රචණ්ඩත්වය හා රාජ්‍ය මර්ධනය තේමා කොට ගනිමින් රංගන ශිල්පි ජගත් මනුවර්ණ කුළුදුලේ අධ්‍යක්ෂණය කළ “රහස් කියන කඳු” චිත්‍රපටය සුනිල් ටී ප්‍රනාන්දු ප්‍රමුඛව නිර්මාණ බණ්ඩාර, රසිත ජිනසේන හා චන්න දේශප්‍රිය යන අයගේ සාමුහික නිෂ්පාදනයක් ලෙසින් එළි දකින්නකි.

ජගත් මනුවර්ණ හා නාමල් ජයසිංහගේ තිර රචනයෙන් බිහිවන “රහස් කියන කඳු” චිත්‍රපටය, සරත් කොතලාවල, ප්‍රියන්ත සිරි කුමාර, ධර්මප්‍රිය ඩයස්, සම්පත් ජයවීර, කලණ ගුණසේකර, ලක්මාල් ධර්මරත්න, ආනන්ද කුමාර උන්නැහැ හා ජගත් මනුවර්ණ යන ශිල්පීන්ගේ රංගනයෙන් හැඩවේ. කැමරාකරණය විශ්වජිත් කරුණාරත්නගෙනි. සංස්කරණය සඳහා සංඛ මල්වත්තත්, සංගීතය සඳහා තිලංක ගමගේත් දායකත්වය ලබා දී ඇත.

2023 වර්ෂයේදී ලෝ ප්‍රකට නෙදර්ලන්තයේ රොටර්ඩෑම් අන්තර්ජාතික සිනමා උළෙල නියෝජනය කරමින් හොඳම ආසියානු චිත්‍රපටයට හිමි “නෙට්පැක්” සම්මානයෙන් පිදුම් ලද “රහස් කියන කඳු”, ඉන් අනතුරුව ඕස්ට්‍රියාවේ ඉන්ස්බ්‍රක් අන්තර්ජාතික සිනමා උළෙල සහ ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් ඉන්දියානු සිනමා උළෙල නියෝජනය කිරීමට සමත් විය.

2012 වර්ෂයේ පැවැති පළමු දෙරණ සිනමා සම්මාන උළෙලේදී “Cinema of Tomorrow” අංශයේ හොඳම කෙටි චිත්‍රපටයට හිමි සම්මානය “Water Lily” සිනමාපටය වෙනුවෙන් හිමිකරගත් ජගත් මනුවර්ණ, සිය කුළුදුල් දීර්ඝ වෘත්තාන්ත සිනමාපටය හරහා මෙවර එකී අංශය නියෝජනය කිරීම විශේෂත්වයකි.

පාස්පෝට් (Passport) | අධ්‍යක්ෂණය – ක්‍රිස් ඇන්තනී

දරිද්‍රතාවයෙන් පෙළෙන සිය ජීවීත ජය ගැනීමේ අරමුණින් ඉතාලියට ඇතුළු වන තරුණයන් දෙදෙනෙකු හා ඔවුන් මුහුන දෙන බිහිසුණු සිද්ධීන් සමුදායක් වටා ගෙතී ඇති “පාස්පෝ‍ට්” චිත්‍රපටය, ක්‍රිස් ඇන්තනීගේ කුළුදුල් සිනමා නිර්මාණය ලෙසින් එළිදකී.

Aura Lanka Films වෙනුවෙන් විරාජ් තාඹුගල නිෂ්පාදනය කළ “පාස්පෝ‍ට්” හි ප්‍රධාන භූමිකාවන්ට ජගත් චමිල, ධර්මප්‍රිය ඩයස් හා නයනතාරා වික්‍රමාඅරච්චි පණ පොවති. සෙසු භූමීකාවන්ට මහේන්ද්‍ර පෙරේරා, දර්ශන් ධර්මරාජ්, රොෂාන් පිලපිටිය, මල්කාන්ති ජයසිංහ, ප්‍රියන්ත සෙනෙවිරත්න, සුසන්තා චන්ද්‍රමාලි, අතුල ජයසිංහ, හසිනිකා කරලියැද්ද යන රංගන ශිල්ප ශිල්පීන් සිය දායකත්වය ලබා දී ඇත.

විශ්වජිත් කරුණාරත්න හා ප්‍රියන්ත මලවිගේ කැමරාකරණයෙන්ද, සහන් අල්විස් සංකරණයෙන්ද, සුදත් ජයසිංහ සංගීතයෙන්ද, ගිම්හාන පෙරේරා ශබ්ද පරිපාලනයෙන්ද දායකත්වය ලබාදී ඇති “පාස්පෝ‍ට්” හි ධාවන කාලය පැයයි මිනිත්තු 55කි.

ශ්‍රී ලංකාව, ඉන්දියාව හා ඉතාලිය යන රටවල් ත්‍රිත්වය තුළ මෙම චිත්‍රපටය රූපගත කොට ඇත.

දූස්රා (Doosra) | අධ්‍යක්ෂණය – චන්න දේශප්‍රිය

ගණිකාවක් ලෙස පෙනී සිටිමින් ධනවත් පිරිමින් හොටෙල් කාමර වෙත කැඳවාගන්නා තරුණියක් හා එකී පිරිමින් බිය වද්දා මංකොල්ලකමින් කප්පම් ගැනීමට වෙරදරන තරුණයෙක් සහ අවසානයේ ඔවුන් අතරට පැමිණෙන මැර කණ්ඩායමක් වටා කතාව ගෙතී ඇති “දූස්‍ රා” ප්‍රවීන කැමරා ශිල්පී චන්න දේශප්‍රියගේ දෙවෙනි සිනමා අධ්‍යක්ෂණයයි.

2022 වර්ෂයේදී ඉන්දියාවේ කොල්කටා අන්තර්ජාතික සිනමා උළෙල සහ 2023 වර්ෂයේදී ලෝ ප්‍රකට රුසියාවේ මොස්කව් අන්තර්ජාතික සිනමා උළෙල නියෝජනය කළ “දූස්රා”, මාර්ක් ටෙසී හා ලක්ෂාන් අබේනායකගේ හවුල් නිෂ්පාදනයක් ලෙසින් එළිදකී.

නිලක්ෂිණි රත්නායක, සජිත අනුත්තර, ලක්ෂාන් අබේනායක, ස්ටීව් ඩී ලා සිල්වා, ශ්‍යාම් ප්‍රනාන්දු, වසන්ති රංවල යන අයගේ රංගනයෙන් හැඩවෙන “දූස්රා” හි කැමරාකරණය ධම්මික රත්නායකගෙනි.

තිස්ස සුරේන්ද්‍ර සංස්කරණයෙන්ද, චින්තක ජයකොඩි සංගීත අධ්‍යක්ෂණයෙන්ද, සසික රුවන් මාරසිංහ ශබ්ද පරිපාලනයෙන්ද, ලකී විජේවර්ධන කලා අධ්‍යක්ෂණයෙන්ද “දූස්රා” සඳහා සිය දායකත්වය ලබා දී ඇත.

මනල් (Munnel) | අධ්‍යක්ෂණය – විසාකේස චන්ද්‍රසේකරම්

සයපෙති කුසුම, පාංශු අධ්‍යක්ෂණය කරමින් සිනමාවට පිවිසි විසාකේස චන්ද්‍රසේකරම්ගේ නවතම චිත්‍රපටය මනල් වේ. පශ්චාත් යුධ සමයේදී දිවයිනේ උතුරු පෙදෙසේ සිදුවන සිද්ධි දාමයක් වටා ගෙතෙන මනල් සිනමාපටයේ පළමු මහජන දර්ශනය පැවැත්වූයේ 2023 රොටර්ඩෑම් අන්තර්ජාතික සිනමා උළෙලේදී යි. මෙරට මහජන ප්‍රදර්ශනයට මනල් චිත්‍රපටය ඉදිරිපත් කරන පළමු අවස්ථාව වන්නේ මෙයයි.

හමුදා අඩස්සියේ සිටි දමිළ විප්ලවවාදියෙකු සිය සිර කාලයෙන් අනතුරුව නිවසට පැමිණීමත්, සිය පෙම්වතිය සොයා යමින් ඔහු අරඹන චාරිකාවත් මනල් චිත්‍රපටය තුළින් ඉදිරිපත් කෙරෙනවා.

සිවකුමාර් ලිංගේස්වරන් සහ තෘකා මහේන්ද්‍රන් ප්‍රධාන චරිත නිරූපණය කරන මෙහි නිෂ්පාදනය සිදු කරන්නේ ද විසාකේස චන්ද්‍රසේකරම් විසිනුයි. මෙම චිත්‍රපටය 52වන ඇම්ස්ටඩෑම් සිනමා උළෙලේදී විශේෂ ජූරි සම්මානයකින් පිදුම් ලැබුවා. චන්න අසංක කලා අධ්‍යක්ෂණයෙනුත්, රිශි සෙල්වම් කැමරාකරණයෙනුත් මීට සම්බන්ධ වුනා. වර්ණ සංයෝජනය ආනන්ද බණ්ඩාරගෙනි. සිතුම් සමරජීව මනල් සංස්කරණය සිදු කොට තිබෙනවා.

Share

240 Views 1 On 1 Rating Rate it

Written by Kavinu Weerakkody


  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.