නෙලුම් කුලුන කොපියක්ද? – හින්දි චිත්‍රපටියේ ශූටින් අගෝස්තු – අධ්‍යක්ෂක ඉලංගෝ රාම් පිළිතුරු දෙයි

Avatar Kavinu Weerakkody | April 21, 2025 258 Views 0 Likes 0 Ratings

258 Views 0 Ratings Rate it

පසුගිය සති කිහිපය පුරාවට මෙරට සිනමා හල් පිරී ඉතිරී ගියේ ඉලංගෝ රාම් අධ්‍යක්ෂණය කළ නෙලුම් කුලුන (Tentigo) සිනමාපටයෙන්. දිවයින පුරා සිනමා හල් 100කට ආසන්න සංඛ්‍යාවක තිරගත වුනු නෙලුම් කුලුන සිනමාපටය මේ වනවිට ලාංකීය සිනමාවේ ආදායම් වාර්තා උඩු යටිකුරු කරමින් අති සාර්ථකව තිරගත වනවා.

වාර්තා වන පරිදි, මෙතෙක් ලාංකීය සිනමාවේ වැඩිම ආදායම්ලාභී සිනමාපට කිහිපය අතරට එකතු වන්නටත් නෙලුම් කුලුනට හැකි වී තිබෙනවා. මේ වනවිට මෙරට ප්‍රදර්ශනය කළ Housefull දර්ශන වාර ප්‍රමාණය පමණක් 600ට අධිකයි. ලංකාවට අමතරව ඕස්ට්‍රේලියාව ඇතුලු රටවල් කිහිපයකත් චිත්‍රපටය සාර්ථකව තිරගත වනවා.

නෙලුම් කුලුන සිනමාපටයේ මේ දැවැන්ත Box Office ජයග්‍රහණය නිසාම, චිත්‍රපටයේ අධ්‍යක්ෂක ඉලංගෝ රාම් සමඟින් Cinema LK අපි කතාබහකට එක්වුනා.

“අපි හිතුවට වඩා ගොඩක් හොඳ රෙස්පොන්ස් එකක් අපිට ලැබෙනවා. මේක ඕඩියන්ස් එක සෙලිබ්‍රේට් කරන චිත්‍රපටියක් වෙලා. රෑ එකොළහ හමාරෙ shows පවා housefull වෙලා, හෝල් පිරිලා, මිනිස්සු චිත්‍රපටිය රස විඳිනවා කියන්නෙ, ඒක තමයි අපි බලාපොරොත්තු වෙන දේ.
සමහර අවස්ථාවලදි, එක් දිනයකදී, එකම cinema complex එකක් තුළ විතරක් අපේ චිත්‍රපටයේ දර්ශනවාර 22-23ක් පමණ තිරගත වුනා. දිනක් ඇතුළත වැඩිම ප්‍රේක්ෂකයින් සංඛ්‍යාවක් නරඹපු ලාංකීය චිත්‍රපටය වුනෙත් නෙලුම් කුලුන. ”

මෑතකාලයේ තිරගත වුනු බහුතරයක් ලාංකීය චිත්‍රපටවලට වඩා නෙලුම් කුලුනට ප්‍රේක්ෂකයින් සමීප වීම ගැන ඉලංගෝට තිබුනේ මෙහෙම අදහසක්…

“මම හිතන්නේ නෙලුම් කුලුන කියන්නේ ඕඩියන්ස් එකට බොහොම ළඟ චිත්‍රපටයක් වුනා. මළ ගෙදරයක් කියන්නේ හැමෝටම relatable සිදුවීමක්. මේ චිත්‍රපටියෙදි, මළ ගෙදරක නිතරම දකින්න ලැබෙන චරිත පවා අපිට බොහොම සමීප ගතියක් දැනෙනවානෙ.”

නෙලුම් කුලුන චිත්‍රපටයේ සාර්ථකත්වය වගේම, එහි ඉදිරි Remakes ගැනත් අපි ඔහුගෙන් විමසුවා.

“පළවෙනි රීමේක් එක විදිහට Perusu රිලීස් වුනා කොලිවුඩ්වලට. Perusu චිත්‍රපටයත් අධ්‍යක්ෂණය කළේ මම. මේ වෙනකොට Netflix India රෑන්කින් ලිස්ට් එකේ Number 03 සහ Netflix Sri Lankaවල Number 01 තියන්නේ Perusu. ඊළඟට අපි කරන්නේ හින්දි රීමේක් එක.

නෙලුම් කුලුන හින්දියට remake කරන්නේ ඉන්දියාවේ National Awards දිනපු අධ්‍යක්ෂකවරයෙක් වන හන්සල් මෙහ්තා. අගෝස්තු මාසයේදී අපි රූගත කිරීම් පටන් ගන්නවා.”

හන්සිල් මෙහෙතා යනුවෙන් හඳුන්වන්නේ Shahid – Aligrah – Citylights වැනි සම්මානනීය හින්දි චිත්‍රපට ගණනාවක අධ්‍යක්ෂකවරයා. ඒ වගේම ඔබ කවුරුත් හඳුනන Scam 1992 වෙබ් කතාමාලාවත් ඔහුගේම අධ්‍යක්ෂණයක්. විශිෂ්ටතම අධ්‍යක්ෂණයට හිමි ඉන්දියානු ජාතික සම්මානය ඇතුලු සම්මාන රැසකින් පිදුම් ලබා තිබෙන එරට ප්‍රවීණම සිනමාකරුවෙක්.

හන්සිල් මෙහ්තාගේ හින්දි ප්‍රතිනිර්මාණයට පසුව ස්පාඤ්ඤ, ඇමරිකානු සහ ඉතාලි Remakes ආරම්භ කරන බවටයි ඉලංගෝ රාම් අප සමඟින් පැවසුවේ.

පසුගිය දිනවල ඇතමුන් නෙලුම් කුලුන චිත්‍රපටයට විවිධ චෝදනා එල්ල කරන බවකුත් අපිට දැක ගන්න ලැබුනා. විශේෂයෙන්ම නෙලුම් කුලුන චිත්‍රපටය ඉලංගෝ රාම්ගේ නිර්මාණයකට වඩා, විවිධ විදෙස් සිනමාපට ඇසුරෙන් නිෂ්පාදනය කළ Copyයක් බවටයි ඒ චෝදනා එල්ල වුනේ.

ඉතින් අපි ඒ පිළිබඳවත් අධ්‍යක්ෂකවරයාගේ අදහස විමසුවා. ඉලංගෝ රාම් තමන්ගේ චිත්‍රපටයට එල්ල වන චෝදනා ගැන මාධ්‍යයකට පිළිතුරු ලබාදුන්නේ පළමු වරටයි.

“මුලින්ම කිව්වා මේක ඉන්දියන් කොපියක් කියලා. හැබැයි පස්සෙ ඒ අය තේරුම් ගත්තා මේක ඉන්දියන් කොපියක් නෙමෙයි, ඉන්දියන් වර්ෂන් එක හැදුවෙත් ලංකාවේ චිත්‍රපටිය inspire කරගෙන කියලා. නමුත් බොහොම සුලු පිරිසක් තමයි එහෙම negative විදිහට කතා කරන්නේ.

මට ඒ අයට දෙන්න තියන්නේ බොහොම සරල පිළිතුරක්. අපි එහෙම කොපි කළා නම්, හොලිවුඩ් – බොලිවුඩ්වල ලොකු කම්පැනි අපිටම සල්ලි ගෙවලා අපෙන් remake rights ගනීද?

ඒ වගේම තමයි, නෙලුම් කුලුන කියන්නේ ලෝකයේ A listed ෆෙස්ටිවල් එකකින් awards දිනපු චිත්‍රපටයක්. එස්තෝනියාවේ බ්ලැක් නයිට්ස් චිත්‍රපට උළෙල. ලංකාවේ චිත්‍රපටියක් මෙහෙම A listed ෆිල්ම් ෆෙස්ටිවල් එකකින් දිනලා තියන්නේ දැනට තුන් වතාවයි.
අපි කොපි කළා නම් එතනින්ම අපේ චිත්‍රපටිය රිජෙක්ට් වෙනවා නේද? ”

නෙලුම් කුලුන චිත්‍රපටයෙන් පසුව, අධ්‍යක්ෂක ඉලංගෝ රාම්ගේ ඉදිරි සිනමා කටයුතු ගැන දැනගන්නට ඔබ නොඉවසිල්ලෙන් සිටින බව අපි හොඳින්ම දන්නවා. ඉතින් ඒ ගැන ඔහුගෙන් අහන්නත් අපි අමතක කළේ නැහැ.

“ස්ක්‍රිප්ට් දෙක තුනක් දැනටම මන් ගාව තියෙනවා. හැබැයි ඒ ඔක්කොම ඩාක්, බර subjects. හැබැයි නෙලුම් කුලුනට ලැබුනු ප්‍රතිචාර දැක්කහම, මගේ ඊළඟ නිර්මාණය ගැන හුඟ දෙනෙක් බලාපොරොත්තුවෙන් ඉන්න බව මට දැනෙනවා. මගේ චිත්‍රපටිය සෙලිබ්‍රේට් කරපු ඕඩියන්ස් එකේ විශ්වාසය ඊළඟ චිත්‍රපටියෙනුත් මම රකින්න ඕනෙ. චිත්‍රපටිය තියටර්ස්වල දුවන්න ඕනෙ.

ඉතින් එක පාරටම dark plot එකකට යන්නැතුව හොඳට කාලය අරගෙන, තවත් ප්ලෑන් කරලාම මම ඊළඟ චිත්‍රපටයට යයි! ”

ඔය විදිහට තමයි, මේ දිනවල ඔබ කවුරුත් ආදරය කරන නෙලුම් කුලුන සහ Perusu චිත්‍රපටවල අධ්‍යක්ෂවරයා වන ඉලංගෝ රාම් සමඟින් අපේ සම්මුඛ සාකච්ඡාව අවසාන වුනේ…

Regal, Lite Cinema, PVR ඇතුලු දිවයින පුරා පිහිටි සිනමා ශාලා රැසකදී ඔබ දැන් මේ අපූරු සිනමා නිර්මාණය රස විඳින්නට පුලුවන්!

සම්මුඛ සාකච්ඡාව කළේ: කවිනු වීරක්කොඩි

Share

258 Views 0 Ratings Rate it

Written by Kavinu Weerakkody


  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.