පසුගිය වසරේදී වැඩිම ජනප්‍රියතාවයක් හිමිකර ගත් ඉන්දියානු චිත්‍රපට පිළිවෙලින්…
Internet Movie Database නොහොත් IMDb වෙබ් පිටුව, අන්තර්ජාලය ඔස්සේ සිනමාපට පිළිබඳව පරිශීලනය කරන – ලෝක සිනමාව පිළිබඳව උනන්දුවක් දක්වන රසිකයින් බහුතරයක් දෙනා හොඳින්ම දන්නා යෙදවුමක්. දැනට පරිශීලකයින් මිලියන 80කට අධික ප්‍රමාණයක් විසින් භාවිතා කරන මෙය චිත්‍රපට පිළිබඳව විස්තර සෙවීමට වර්තමානයේදී පවතින නිරවද්‍යම සහ පහසුම ක්‍රමයක් ලෙසටයි බොහෝ දෙනෙකු සලකන්නේ. මීට වසර 33කට ප්‍රථම 1990 වසරේදී ඇරඹි මෙම IMDb වෙබ් පිටුව තුළින් සිනමා ඉතිහාසයේ ඕනෑම චිත්‍රපටයක ඕනෑම විස්තරයක් ඉතාමත් පහසුවෙන් සොයා ගැනීමට හැකියි.
සෑම වසරක අවසානයේදීම IMDb ආයතනය විසින් එම වසරේ ජනප්‍රියම චිත්‍රපට පිළිබඳව නිල නිවේදන නිකුත් කරනු ලබනවා. ඒ අයුරින් පසුගිය 2022 වසරේදී IMDb වෙබ් පිටුවෙහි වැඩිම සෙවුම්වාර ප්‍රමාණයක් හිමි කරගත් චිත්‍රපට පිළිබඳවත් රසිකයින්ට පසුගියදා දැනුම් දුන් අතර පහතින් දැක්වෙන්නේ එහි ඉන්දියානු චිත්‍රපට කැටගරියේ ජනප්‍රියම චිත්‍රපට ලැයිස්තුවයි.
විශේෂත්වය වන්නේ මෙම සිනමාපට දහයෙන් නමයක්ම දකුණු ඉන්දියානු සිනමාපට වීමයි. පුරා දශක ගණනාවක් ඉන්දියානු සිනමාවේ මුහුණත ලෙස හැඳින්වූ “බොලිවුඩ් සිනමාව” නියෝජනය කරමින් මෙවර ජනප්‍රියම ලැයිස්තුවට තේරී පත්ව තිබෙන්නේ එක් සිනමා නිර්මාණයක් පමණයි.
1) RRR
2022 වසරෙහි IMDb අඩවිය තුළ වැඩිම සෙවුම්වාර ප්‍රමාණයකට හිමිකම් කියන්නේ දකුණු ඉන්දීය තෙළිඟු භාෂාමය චිත්‍රපටයක් වන RRR සිනමා නිර්මාණයයි. Bahubali චිත්‍රපට ද්විත්වය අධ්‍යක්ෂණය කළ SS Rajamouliගේ නවතම නිර්මාණය වන මීට පාදක වී තිබෙන්නේ බ්‍රිතාන්‍ය සමයේදී සිදු වූ කතා පුවතක්.
චිත්‍රපටයේ ප්‍රධාන චරිතවලට පණ පොවන්නේ ජනප්‍රිය තෙළිඟු නලු NTR Jr සහ Ram Charan විසිනුයි. එමෙන්ම පසුගිය වසරේදී ඉන්දීය චිත්‍රපටයක් ලැබූ දෙවන වැඩිම ආදායමට හිමිකම් කියන්නේ ද මෙයයි. කෝටි 550ක නිෂ්පාදන පිරිවැයක් දැරූ RRR සිනමාපටය උපයා ගත් සමස්ත ආදායම ඉන්දීය කෝටි 1200කට අධිකයි. එය මෙතෙක් සිනමා ඉතිහාසයේදී ඉන්දියානු සිනමාපටයක් ලැබූ සිව්වන වැඩිම ආදායමයි.
එමෙන්ම, මෑතකාලීනව ඉන්දියානු සිනමාපටයක් යුරෝපය තුළ ලැබූ වැඩිම රසික ජනප්‍රියතාවය හිමිකර ගැනීමටත් RRR සමත් වූවා. ලෝක ප්‍රසිද්ධ Golden Globes සම්මාන උළෙලේ “විශිෂ්ටතම විදේශීය නිර්මාණය” සහ “විශිෂ්ටතම ගීතයට” හිමි සම්මාන සඳහා නිර්දේශ වෙමින් RRR, ඉන්දියානු සිනමාව තුළ රඳවා තබා ගත්තේ දිගු කාලයකට නොමැකෙන සලකුණක්…
2) The Kashmir Files
මෙම ලැයිස්තුවේ දෙවන ස්ථානයට පත්ව තිබෙන්නේ Vivek Agnihotri අධ්‍යක්ෂණය කළ The Kashmir Files නැමැති හින්දි චිත්‍රපටයයි. එමෙන්ම, පසුගිය වසරේදී වැඩිම රසිකයින් පිරිසකගේ අවධානයට පත් වූ චිත්‍රපට ගොන්නෙ හි දක්නට ලැබෙන එකම හින්දි චිත්‍රපටය මෙය වීමත් විශේෂත්වයක්!
1990 දශකයේදී සිදු වූ ජම්මු – කාශ්මීර් ගැටුම් නිසා එම ප්‍රදේශවල ජීවත් වූ කාශ්මීර් පණ්ඩිත් ජන කොට්ඨාසයට අත් විඳීමට සිදුවූ දුක්ඛිත ඉරණම The Kashmir Files චිත්‍රපටයෙන් ප්‍රේක්ෂකයාට මතු කොට පෙන්වනවා. නමුත් The Kashmir Files තිරගත කිරීම ආරම්භ වීමත් සමඟ, එය දැඩි කතාබහට ලක්වූ නිර්මාණයක් වුනා. බොහෝ දෙනෙකු ප්‍රසිද්ධියේම ඊට විරෝධය දැක්වූ අතර මෙම චිත්‍රපටයෙන් කාශ්මීර් පණ්ඩිත් ජන වර්ගයාගේ සත්‍ය ඉරණම වසන් කළ බවටත් දොස් පැවරුනා.
නමුත් එයින් සිදූ වූයේ චිත්‍රපටයට තවත් ජනප්‍රියතාවයක් හිමිවීමයි. නොසිතූ පරිදි දැවැන්ත රසික අවධානයක් මේ තුළින් The Kashmir Files වෙත ලැබුනු අතර ඉන්දීය කෝටි 300කට අධික ආදායමක් වාර්තාවක් උපයා ගැනීමටත් ඊට හැකියාව ලැබුනා.
මෙහි ප්‍රධාන චරිත රඟන්නේ Anupam Kher, Mithun Chakraborthy සමඟින් Pallavi Joshiයි.
3) K.G.F. Chapter 02
2018 වර්ෂයේදී තිරගත වූ K.G.F. Chapter 01 චිත්‍රපටය, කන්නඩ සිනමා ඉතිහාසයේම ගමන් මඟ වෙනස් කළ නිර්මාණයක්. ලෝ පුරා දැවැන්ත ප්‍රේක්ෂකාගාරයක් කන්නඩ සිනමාව දෙසට යොමු කරන්නට එය සමත් වූ අතර පළමු චිත්‍රපටයේ ආකර්ෂණය නිසාම එහි දෙවන කොටස නිකුත් වන තුරුත් රසිකයින් නොඉවසිල්ලෙන් බලා සිටියා.
පසුගිය වසරේදී K.G.F: Chapter 02 නමින් තිරගත වුනේ එම දෙවන දිගහැරුමයි. පළමු චිත්‍රපටය මෙන්ම මෙයත් Prasanth Neel විසින් අධ්‍යක්ෂණය කළ අතර ප්‍රධාන චරිතය නිරූපණය කළේ ජනප්‍රිය කන්නඩ රංගන ශිල්පී Yash විසිනුයි.
ඊට අමතරව බොලිවුඩයේ ප්‍රධාන පෙළේ නලු නිලියන් දෙපළක් වන Sanjay Dutt සහ Raveena Tandon දෙදෙනාත් උප ප්‍රධාන චරිත ද්විත්වයකට එක්වූවා. K.G.F. Chapter 02 සඳහා ඉන්දීය කෝටි 100ක් වැනි ඉහළ නිෂ්පාදන පිරිවැයක් වැය වූවත්, තිරගත වීම අවසන් වන විට එහි සමස්ත බොක්ස් – ඔෆිස් ආදායම සටහන් වූයේ ඉන්දියානු කෝටි 1250ක් ලෙසයි.
මෙතෙක් ඉන්දියානු සිනමාපටයක් ලැබූ තෙවන වැඩිම ආදායම (Dangal, Bahubali 02ට පසු) ලෙස සඳහන් වන්නේත් එයයි. බෙහෝදුරට 2024 හෝ 2025 වසරේදී මෙහි තෙවන කොටසත් ලෝ පුරා සිනමාහල්වලට නිකුත් විය හැකියි.
4) Vikram
Kaithi, Master වැනි පෙරළිකාර සිනමාපට අධ්‍යක්ෂණය කළ Lokesh Kanagarajගේ නවතම නිර්මාණය “Vikram” නමින් ප්‍රදර්ශනය ඇරඹූයේ පසුගිය වසරේ ජුනි 03 වනදා සිටයි. මෙතෙක් දමිළ සිනමාවෙන් බිහිවූ විශිෂ්ටතම රංගන ශිල්පියෙකු ලෙසට හැඳින්වෙන Kamal Haasanගේ ප්‍රධාන රංගනයෙන් හැඩ වූ මෙය කෝටි 500+ ආදායමකුත් රැස් කරගත්තා.
Vikram චිත්‍රපටයේ කතා තේමාව ගෙතෙන්නේ ඉන්දියානු මත්ද්‍රව්‍ය ජාවාරම සහ ඊට සම්බන්ධ රජයේ පොලිස් නිලධාරීන්ව ඝාතනය කරන රහසිගත කල්ලියක් වටායි. “ඒජන්ට් වික්‍රම්” නැමැති ප්‍රධාන චරිතය රඟ දක්වන්නේ Kamal Hassan විසිනි.
කමල් හාසන්ට අමතරව චිත්‍රපටයේ සෙසු ප්‍රධාන චරිත රඟපාන්නේ දකුණු ඉන්දියානු සිනමාවේ දක්ෂ චරිතාංග නලුවන් වන Vijay Sethupathi සහ Fahadh Fasil දෙදෙනායි. Kaithi චිත්‍රපටයෙන් ඇරඹි ලොකේෂ් සිනමා විශ්වයේ (Lokesh Cinematic Universe= LCU) දෙවන දිගහැරුම මෙය වන අතර ඉදිරියේදී තිරගත වන Kaithi 2, Vikram 02, Rolex වැනි නිර්මාණත් මෙම සිනමාපට මාලාවට සම්බන්ධයි.
5) Kantara
2022 වසරේ අවසාන භාගයේදී සමස්ත ඉන්දියාව පුරාම ජනප්‍රියත්වට පත් වූ Kantara කන්නඩ සිනමාපටය Rishab Shettyගේ ප්‍රධාන රංගනයෙන් හැඩ වූවක්. ප්‍රධාන භූමිකාවට රංගනයෙන් සම්බන්ධ වූවා සේම, Kantara හි අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කර තිබෙන්නේත් ඔහු විසිනුයි.
Kantara තිර පිටපත රචනා කොට තිබෙන්නේ කර්ණාටක ප්‍රාන්තයේ සංස්කෘතික අංග සහ ඔවුන්ගේ ජනප්‍රවාදයේ සඳහන් වන දේව ඇදහිලි අනුසාරයෙනුයි. “Bhoota Kola” නැමැති නර්තනාංගයක් සහ දේව ඇදහිලි අනුව ජීවත් වන මිනිසුන්ගෙන් පිරි ගම්බද ප්‍රදේශයක් පාදක කොටගෙන එහි කතාව දිවෙනවා.
කන්නඩ සිනමා ඉතිහාසයේ දෙවනියට වැඩිම ආදායම Kantara ඉදිරියේ ලියැවුනු අතර එය ඉන්දියානු කෝටි 500කට ආසන්නයි. එමෙන්ම, අතිශය ප්‍රසිද්ධ KGF: Chapter 02 පසු කරමින් කර්ණාටක ප්‍රාන්තය තුළ වැඩිම ටිකට්පත් සංඛ්‍යාවක් විකිණුනු සිනමාපටය බවට පත් වූයේත් Rishab Shettyගේ මූලිකත්වයෙන් බිහි වූ මෙම Kantara සිනමාපටයයි.
ඉතා අවම පිරිවැයක් යටතේ නිෂ්පාදනය වූ චිත්‍රපටයක් වුවත්, නිර්මාණයේ ගුණාත්මකබාවය නිසාම මෙය කෙටි කලකින් සමස්ත ඉන්දියාව පුරාම ජනප්‍රියත්වයට පත් වුනා.
එසේම පසුගිය වසරේදී IMDb පිටුව තුළ වැඩිම රසික අවධානයක් ලබාගත් නිර්මාණ අතුරින් පස්වන ස්ථානය ලබා ගත්තේ ද මෙයයි.
ඉහත විස්තර කළේ 2022 වසරේදී IMDb වෙබ් අඩවිය තුළ වැඩිම ප්‍රේක්ෂක ආකර්ෂණයක් දිනාගත් මුල් සිනමාපට පහයි. ඊට අමතරව හයවන ස්ථානයේ සිට දසවන ස්ථානය දක්වා ජනප්‍රියතාවය රඳවාගත් චිත්‍රපට සියල්ලම පිළිවෙළින් පහත දක්වා තිබෙනවා.
06) Rocketry: The Nambi Effect
07) Major
08) Sita Ramam
09) Ponniyin Selvan: Part One
10) 777 Charlie
Written by Kavinu Weerakkody