මගේ චිත්‍රපටය නතර වෙලා නෑ – මුත්තයියා මුරලිදරන්.

Avatar Nisanka Weheraduwa | July 20, 2021 303 Views 0 Likes 0 Ratings

303 Views 0 Ratings Rate it

800 දෙමළ සිනමාපටයේ නිෂ්පාදන කටයුතු අතහැර දමා ඇති බවට බොහෝ දෙනා සිතා සිටියද එය එසේ නොවන බවත්, හැකි ඉක්මනින්ම රූපගත කිරීම් ආරම්භ කරන බවත් මුත්තයියා මුරලිදරන් පසුගියදා ප්‍රකාශ කළා. ලෝක පූජිත ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන්ගේ ජීවිත කතාව අළලා නිර්මාණය වෙන ඉන්දීය සිනමාපටය ගැන මුලින්ම තොරතුරු දැන ගන්නට ලැබුණේ පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේදීයි. 2020 IPL තරඟාවලිය අතරතුරේදි තමයි පළමු වතාවට චිත්‍රපටයේ Motion පෝස්ටරයක් පවා ප්‍රේක්ෂකයින්ට දැකගන්නට ලැබුණේ. මුත්තයියාගේ චරිතය පණ පොවන්නට තෝරාගෙන තිබුණේ “මක්කල් සෙල්වන්” නමින් හඳුන්වන දකුණු ඉන්දියාවේ ප්‍රසිද්ධ නලු Vijay Sethupathiවයි. චිත්‍රපටිය නම් කරලා තිබුණේ ඔහු ලබා ගෙන තියෙන ටෙස්ට් විකට් සංඛ්‍යාවේ නමිනුයි. ඒ “800” නමින්.

එක්වරම දැනගන්නට ලැබුණු මෙම පුවත නිසා ඉන්දියානු සිනමා රසිකයින් මෙන්ම ලාංකීකයින් පවා හිටියේ මහත් උද්දාමයෙන් සහ සතුටෙන්. නමුත් වැඩි දවසක් යන්නට කලින් තමිල්නාඩුවේ ඊළාම් හිතවාදීන් විසින් Vijay Sethupathiට එරෙහිව විශාල විරෝධතාවයක් පටන් ගත්තා. සමාජ මාධ්‍ය අවකාශය ඇතුළේ විශාල වශයෙන් සේතුපතිට විරුද්ධව අදහස් Share වෙන්න පටන් ගත්තා. ඒකට හේතුව ඔහු ලාංකිකයෙකු වූ මුත්තයියාගේ චරිතය නිරූපණය කරන්න බාර ගැනීම. මේ චරිතය බාර ගතහොත් Vijay Sethupathiගේ සිනමා ජීවිතය අවසන් කරන බවටත් ඔවුන් තර්ජනය කරලා තිබුණා. ඒ සමඟම ඇතැම්  තමිල්නාඩු දේශපාලකයින් සහ සිනමාකරුවන් පවා ප්‍රසිද්ධියේම Sethupathiට එරෙහි වෙන්නට පටන් ගත්තා.

මෙවන් පසුබිමක මුත්තයියා මුරලිදරන් විසින් Vijay Sethupathiට ලිපියක් යොමු කරමින් 800 සිනමාපටයෙන් ඉවත් වන්නට ඔහුට යෝජනා කොට තිබුනා. තමන්ගේ චිත්‍රපටියට එකතු වීමෙන් ඔහුගේ සිනමා ජීවිතයට යම් තර්ජනයක් ඇතිවෙනවා නම් එයින් ඉවත් වන්නට කියලා මුත්තයියා මුරලිදරන් ඔහුට යෝජනා කරනවා. මේ සම්බන්ධයෙන් Sethupathi ඔහුට පසුව ස්තූති කරලත් තිබුණා. මේ සිදුවීමෙන් පසු 800 චිත්‍රපටිය ගැන කිසිදු තොරතුරක් අපිට දැනගන්නට ලැබුණේ නැහැ. ප්‍රධාන චරිතය රඟපෑමට සිටි Vijay Sethupathiගේ ඉවත් වීම නිසා චිත්‍රපටයත් සිදු නොවෙනු ඇති බවටයි බොහෝ දෙනා විශ්වාස කළේ. නමුත් 800 චිත්‍රපටිය අනිවාර්යෙන්ම රූගත කරන බවට මුත්තයියා මුරලිදරන් විසින්ම පසුගියදා ප්‍රකාශ කළා. ඒ ඔහු සම්බන්ධ වූ මාධ්‍ය සාකච්ඡාවක් අතරතුරේදීයි.

චිත්‍රපටිය අනිවාර්යෙන්ම කරනවා. කොවිඩ් නිසා තමයි පොඩ්ඩක් නැවතිලා තියන්නේ. ආපු බලපෑම හින්දා විජේ සේතුපතිට මන් ඉවත් වෙන්න කිව්වා. හැබැයි වෙන නලුවෙක් චරිතය කරාවි. “මුත්තයියා 800 ගැන පැවසුවේ එවැනි අදහසකුයි.

භාෂා 07කින් චිත්‍රපටය තිරගත කරන්නට සූදානමක් ඇති බව පැවසූ ඔහු, තිර පිටපත සහ පෙර නිෂ්පාදන කටයුතු බොහෝමයක් අවසන් බවත් ප්‍රකාශ කර සිටියා. තමන්ගේ චරිතය රඟ දක්වන නළුවා විදේශිකයෙකු වුණත් ප්‍රධාන නිළියගේ චරිතයට ලාංකිකයෙක් තෝරා ගන්නට සැලසුම් කර ඇති බවයි ඔහු පැවසුවේ. ඒ අනුව ලාංකික නිළියක් විසින් 800 සිනමාපටයේ ප්‍රධාන කාන්තා චරිතය රඟපානු ඇති.

MS Sripathy විසින් අධ්‍යක්ෂණය කරන 800 සිනමාපටය Movie Train Motion Pictures නිෂ්පාදනයක්. තිර රචනය සඳහා MS Sripathyට අමතරව ශෙහාන් කරුණාතිලකද එක්වී සිටිනවා. පොදු රාජ්‍ය මණ්ඩලයීය සම්මානය ඇතුළු ජාත්‍යන්තර සම්මාන රැසකින් පිදුම් ලැබූ Chinaman: The Legend of Pradeep Mathew කෘතිය රචනා කළේද ශෙහාන් කරුණාතිලක විසිනුයි.

 

 

Share

303 Views 0 Ratings Rate it

Written by Nisanka Weheraduwa


  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.