මේ දෙසැම්බරයට නවතම සිංහල චිත්‍රපට ද්විත්වයක්.

Avatar Kavinu Weerakkody | December 17, 2021 705 Views 3 Likes 0 Ratings

705 Views 0 Ratings Rate it

කොවිඩ් වසංගතයෙන් පසු තිරගත වුණු නිහඬ සෙවනැලි, භවතරණ සහ නිම්හිම් චිත්‍රපටවලට පසුව ඔබ බලා සිටි තවත් නවතම සිංහල චිත්‍රපට ද්විත්වයක් දෙසැම්බර් මාසයේදී සිය සිනමාශාලා ප්‍රදර්ශනය ආරම්භ කරනවා.

කවුරුත් දන්නෙ නැහැ (Nobody Knows) – Political Thriller/Action/Murder Mystery

වසර දෙකකට පමණ පසු බෙනට් රත්නායක විසින් අධ්‍යක්ෂණය කළ නවතම සිංහල සිනමාපටය “කවුරුත් දන්නෙ නෑ” (Nobody Knows) ලෙස නම්කොට තිබෙනවා. කෝවිඩ් වසංගත තත්වය නිසා තිරගත වීම කල් ගිය මෙම නිර්මාණය එළඹෙන දෙසැම්බර් 22 වනදා සිට දිවයින පුරා සිනමාශාලා ප්‍රදර්ශනය ආරම්භ කිරීමට නියමිතයි.

මෙය ලාංකීය දේශපාලනයේ අඳුරු පැතිකඩ පිළිබඳ සිදු කළ සිනමාත්මක විමසා බැලීමක් ලෙසඳ හඳුන්වා දිය හැකියි. දූෂිත දේශපාලකයින් සහ ඔවුන්ගේ ව්‍යාපාරික සගයින්ට එරෙහි වන පොලිස් නිලධාරියෙකු වටා ගෙතෙන Nobody Knows සිනමාපටයේ ප්‍රධාන චරිතය නිරූපණය කරන්නේ බිමල් ජයකොඩි විසිනුයි. ගිහාන් ප්‍රනාන්දු, උදාරි වර්ණකුලසූරිය, දුලීකා මාරපන, ඉසුරු ලොකුහෙට්ටිආරච්චි, සංගීතා වීරරත්න, ලකී ඩයස් වැනි ප්‍රවීණ සහ ජනප්‍රිය ශිල්පීන් රැසක් උපප්‍රධාන චරිතවලට රංගනයෙන් දායක වනවා. Nobody Knows සිනමාපටයේ සුලු දර්ශන කාලයක් හිමි චරිත බොහෝමයකට ද ප්‍රවීණ හා ජනප්‍රිය නළුනිළියන් යොදා ගෙන තිබීම විශේෂත්වයක්.

මිලින්ද තෙන්නකෝන්ගේ සංගීත අධ්‍යක්ෂණයෙන් හැඩ වන මෙහි කැමරාකරණය ධනුෂ්ක ගුණතිලක විසින් සිදුකොට තිබෙනවා. කලා අධ්‍යක්ෂණය සිදු කර ඇත්තේ සුජීව ගුණරත්නයි. සුනිල් ආරියරත්න ගීත රචනයෙන්ද නන්දා මාලිනී ගීත ගායනයෙන්ද සම්බන්ධ වී තිබෙනවා. Nobody Knows, බෙනට් රත්නායකගේම නිෂ්පාදනයක්.

ජංගි හොරා (Underpants Thief) – 18+/Romance/Psychological Drama

ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂක සෝමරත්න දිසානායකගේ දහවන සිනමා නිර්මාණය, Underpants Thief (ජංගි හොරා) චිත්‍රපටය එළඹෙන දෙසැම්බර් 23 වනදා සිට දිවයින පුරා සිනමාහල් වලදී තිරගත වීමට නියමිතයි.

අධ්‍යක්ෂක සෝමරත්න දිසානායක විසින්ම චිත්‍රපටයේ තිර පිටපත ද රචනා කර තිබෙන අතර නිෂ්පාදනය රේණුකා බාලසූරියගෙන්. කැමරා අධ්‍යක්ෂණය හසුරුවන්නේ විශ්වා බාලසූරියයි. Underpants Thief සංස්කරණය අජිත් රාමනායක විසින්. පුබුදු චතුරංග සමඟ දිල්හානි ඒකනායක චිත්‍රපටයේ ප්‍රධාන චරිත වලට රංගනයෙන් එක්ව සිටිනවා. මීට අමතරව චින්තක කුලතුංග, බුද්ධි රන්දෙණිය සහ තුමිඳු දොඩන්තැන්න ආදී ශිල්පීන් රැසක් Underpants Thief තුළින් ඔබට දැකගත හැකියි.

මානසික ව්‍යාධියකින් පෙළෙන තරුණයෙක් සහ ඔහුව ඉන් සුවපත් කරගැනීමට උත්සාහ දරන සහෝදරයාගේ බිරිඳ අතර සිදුවන සිද්ධි දාමයක් මුල් කරගෙන සිනමාපටය ගොඩ නැඟී තිබෙනවා. ආචාර්‍ය් රෝහණ වීරසිංහගේ ස්වර රටාවන්ට ශශිකා නිසංසලා සහ හර්ෂණ දිසානායකගේ ගීත කිහිපයක් Underpants Thief චිත්‍රපටයේ අඩංගු වනවා. සෝමරත්න දිසානායකගේ හුරුපුරුදු චිත්‍රපට ශෛලියෙන් බැහැර වූවක් නිසාම සමාජ මාධ්‍ය තුළ මේ ගැන විශාල කතාබහක් ඇති වූ බවක් දකින්නට ලැබුනා. Busan International Film Festival, Osaka Asian Film Festival ඇතුළු සිනමා උළෙලන් කිහිපයක්ම නියෝජනය කළ මෙය “වැඩිහිටියන්ට පමණයි” ලේබලය යටතේ දෙසැම්බර් 23 වනදා සිට ඔබට නරඹන්නට හැකියි.

ඒ අනුව කලකට පසු මෙරට සිනමාවේ දැකගත හැකි ආකාරයේ political thriller කැටගරියට අයත් “කවුරුත් දන්නෙ නැහැ” චිත්‍රපටය දෙසැම්බර් 22වනදා සිටත්, වැඩිහිටියන්ට පමණයි ලේබලය යටතේ තිරගත වන “ජංගි හොරා” චිත්‍රපටය දෙසැම්බර් 23වනදා සිටත්  සිය ප්‍රදර්ශනය ආරම්භ කරනවා. උසස් රසවින්දනයක් සඳහා සිනමාශාලාවට යන ඔබට නිසි සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරන ලෙසත් Cinema lk අප මතක් කර සිටිනවා!

Share

705 Views 0 Ratings Rate it

Written by Kavinu Weerakkody


  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.