රහස් කියන කඳු – සත්‍යය සොයා යන පරපුරකට
චරිතාංග – දක්ෂ නලුවෙකු ලෙසින් වසර ගණනාවක් පුරාවට මෙරට රසිකයින් අතරෙ හි කතාබහට ලක්වුනු, ජනප්‍රිය ලාංකීය රංගන ශිල්පියෙකු වන ජගත් මනුවර්ණ විසින් අධ්‍යක්ෂණය කළ පළමු වෘතාන්ත සිනමාපටය ‘රහස් කියන කඳු’ හෙවත් ‘Whispering Mountains’ නිර්මාණයයි.
එහි සිනමා ශාලා ප්‍රදර්ශනය පසුගිය නොවැම්බර් 17 වනදා සිට ඇරඹුනු අතර දිවයින පුරා සිනමා හල් 40කට වැඩි ප්‍රමාණයකදී දැන් සාර්ථකව තිරගත වෙමින් තිබෙනවා.
සාමාන්‍යයෙන් ලාංකීය සිනමාව තුළ එතරම් දැකගත නොහැකි පොලිටිකල් – ත්‍රිලර් ශානරයේ චිත්‍රපටයක් වන මෙය, මීට පෙර ලාංකීය සිනමා රසිකයින්ට මුණ නොගැසුනු නැවුම් ම කතා තේමාවක් ඔස්සේ දිවෙන නිර්මාණයක්.
රහස් කියන කඳු (Whispering Mountains) චිත්‍රපටයට පාදක වන්නේ ලැව්ගින්නක් මෙන් ලංකාව පුරා පැතිර යන අත්භූත වෛරසයක් සහ ඊට ගොදුරු වන සිය ගණනක් තරුණ තරුණියන්ගේ මරණ මතින්, එවකට ලාංකීය රජය ගෙන යන කූඨ උපක්‍රමයක් ගැන කතා පුවතකුයි.
රජයට එරෙහිව විරෝධතා ගෙන යන තරුණයින් සහ විරෝධතාකරුවන්ව මර්ධනය කිරීමටත්, ඔවුන්ව මරා දැමීමටත් ආණ්ඩුවේ පාලන බලය සහ ආරක්ෂක අංශවල නියෝජිතයින් උපයෝගී කරගෙන කූඨ සැලසුමක් ක්‍රියාත්මක වුවද, ඉන් එක් තරුණයෙක් සිය මරණයෙන් ගැලවී පලායෑමට සමත් වීමත් සමඟ ආණ්ඩුවේ ආරක්ෂක අංශ ඔහු පසුපස හඹා ඒමට පටන් ගන්නවා.
කතාව ඇරඹෙන්නේ එතැන් සිටයි…
රහස් කියන කඳු (Whispering Mountains) චිත්‍රපටයේ නිල පූර්ව ප්‍රචාරක පටය පහතින්:
අධ්‍යක්ෂණයට අමතරව චිත්‍රපටයේ ප්‍රධාන චරිතය සඳහා රංගන දායකත්වය ලබා දෙන්නේ ද ජගත් මනුවර්ණ විසින්මයි. මෙය ඔහුගේ පළමු දිගු – වෘතාන්ත චිත්‍රපට අධ්‍යක්ෂණය වන අතර ‘ගින්දර පොඩ්ඩක්’ (2004) සහ ‘වෝටර් ලිලී’ (2011) යනුවෙන් කෙටි චිත්‍රපට ද්විත්වයකුත් මීට පෙර ඔහු නිර්මාණය කළා.
මේ දිනවල විකාශනය වන අතිශය ජනප්‍රිය ‘කොඩි ගහ යට’ ටෙලි නාට්‍යය, ජගත් මනුවර්ණ විසින් අධ්‍යක්ෂණය කළ පළමු ටෙලි නාට්‍ය මාලාවයි.
අධ්‍යක්ෂකවරයා පවසන පරිදි මෙම චිත්‍රපටය නිර්මාණය කිරීමට ඔහුට බලපෑ ප්‍රධානම හේතුවක් වන්නේ විවිධ කාල සීමාවලදී ශ්‍රී ලාංකීය දේශපාලන ඉතිහාසය තුළ සිදුවුන යම් යම් ඝාතන සහ පැහැර ගැනීම් සම්බන්ධයෙන් ඔහුට ඇතිවුනු කම්පනයයි.
ජගත් මනුවර්ණට අමතරව ප්‍රියන්ත සිරිකුමාර, සරත් කොතලාවල, ධර්මප්‍රිය ඩයස්, චමින්ද සම්පත් ජයවීර, කලණ ගුණසේකර, ආනන්ද කුමාර උන්නැහේ, නිමල් පල්ලෙවත්ත, නලින් ලුසේනා, චමින්ද පුෂ්පකුමාර, සමන්ත පරණලියනගේ, ගාමිණී ජයරත්න, ශ්‍රීමාල් වෙඩිසිංහ සමඟින් මාදනී මල්වත්ත මෙහි සෙසු චරිත තුළින් දැකගත හැකියි.
කූඹියෝ ටෙලි නාට්‍ය මාලාව අධ්‍යක්ෂණය කළ ලක්මාල් ධර්මරත්න ද රහස් කියන කඳු (Whispering Mountains) චිත්‍රපටයේ ප්‍රධාන චරිතයක් නිරූපණය කරනවා.
ලෝකයේ සංවිධානය වන ප්‍රමුඛ පෙළේ ජාත්‍යන්තර සිනමා උළෙල රැසක් නියෝජනය කිරීමට රහස් කියන කඳු (Whispering Mountains) චිත්‍රපටයට අවස්ථාව උදා වුනු අතර, එම උළෙල කිහිපයකදීම සම්මානයෙන් පිදුම් ලැබීමටත් ඊට හැකියාව ලැබුනා.
52වන රොටර්’ඩෑම් ජාත්‍යන්තර සිනමා උළෙලේදී ‘හොඳම ආසියානු චිත්‍රපටය’ වෙනුවෙන් පිදෙන NETPAC සම්මානය ඒ අතුරින් සුවිශේෂීයි.
ඊට අමතරව බූසන්, චිකාගෝ, ධකා වැනි තවත් විදෙස් සම්මාන උළෙල පහළොවකට ආසන්න ප්‍රමාණයක් රහස් කියන කඳු චිත්‍රපටය විසින් නියෝජනය කර තිබෙනවා.
මෙහි දෙබස් සහ තිර පිටපත ලියා තිබෙන්නේ ජගත් මනුවර්ණ – නාමල් ජයසිංහ එකතුවෙනි. පසුගිය වසරේ විකාශනය වූ ‘සහෝදරයා’ ටෙලි කතාමාලාවේ තිර පිටපත රචනා කළේ ද නාමල් ජයසිංහ විසිනුයි.
නයිට් රයිඩර් – ඉගිල්ලෙන මාලුවෝ – මෝටර් බයිසිකල් වැනි ලාංකීය චිත්‍රපට ගණනාවක කැමරාව හැසිරවූ විශ්වජිත් කරුණාරත්න මෙම සිනමාපටයේ කැමරා අධ්‍යක්ෂකවරයායි.
සංස්කරණය සංඛ මල්වත්ත විසිනුත්, සංගීතය තිලංක ගමගේ විසිනුත් සිදු කොට තිබෙනවා.
රහස් කියන කඳු (Whispering Mountains) චිත්‍රපටය නිෂ්පාදනය කරන්නේ සුනිල් ටී. ප්‍රනාන්දු, නිර්මාණ බණ්ඩාර, චන්න දේශප්‍රිය සහ රසිත ජිනසේන සුසංයෝගයෙනි.
මේ වනවිට දිවයින පුරා සිනමා හල් 40කට අධික සංඛ්‍යාවකදී මෙම සිනමාපටය නැරඹිය හැකි අතර පහතින් දක්වා තිබෙන්නේ චිත්‍රපටය තිරගත කෙරෙන සිනමා ශාලා ලැයිස්තුවයි.
රිකී – කොටුව
රිට්ස් – බොරැල්ල
PVR – වන් ගොල්ෆේස්
KCC – මහනුවර
CCC – කොළඹ
ලිබර්ටි ස්කෝප් – කොල්ලුපිටිය
ඇමිටි ලයිට් – මහරගම
විස්ටා ලයිට් – ජා ඇල
ස්කයි ලයිට් – මාතර
මැක්ස් ලයිට් – මොරටුව
සිටි ලයිට් – ගල්කිස්ස
සරසවි – අලව්ව
ස්කයි ලයිට් – මාළඹේ
මිලානෝ – කෑගල්ල
නිව් ඉම්පීරියල් – කුරුණෑගල
ඒමීස් – මොරටුව
ආසිරි – ඇහැළියගොඩ
වින්ස් – වාද්දූව
මිනෙර්වා – කලුතර
මහලේකම් – කුලියාපිටිය
සිටි සිනමා – කොච්චිකඩේ
ශැම්රොක් – වෙන්නප්පුව
රූ සිනමා – කටුනායක
නිව් ලයින් – දඹුල්ල
EDC – කැකිරාව
නිව් රේඛා – කඩුවෙල
නිව් ටවුන් – ඇඹිලිපිටිය
රෙක්ස් – බදුල්ල
රීගල් – ගම්පහ
වෙලිංටන් – කන්තලේ
චන්ද්‍රානි – වැලිගම
විජේන්ද්‍ර – අනුරාධපුර
නිව් රෝහණ – තිස්සමහාරාමය
දුල්මින් – හොරණ
SK – මාතර
රෝයල් – මීගමුව
අමා – මාතලේ
රුහුණු – තංගල්ල
චම්පිකා – ඉංගිරිය
රමෝගා – හලාවත
Written by Kavinu Weerakkody