රාණි (Raani) ආදායම මිලියන 150 ඉක්මවයි – මෙරට වැඩිම ආදායමක් ලැබූ චිත්‍රපට අතරට එක්වේ

Avatar Kavinu Weerakkody | February 24, 2025 325 Views 0 Likes 5 On 1 Rating

325 Views 5 On 1 Rating Rate it

මාධ්‍යෙව්දී රිචඩ් ද සොයිසාගේ අභිරහස් මරණය ඇසුරෙන් සිනමාවට නැඟුනු, රාණී (Raani) නවතම ලාංකීය සිනමාපටය දිවයින පුරා සිනමා හල් රැසකදී අති සාර්ථක අන්දමින් දැන් තිරගත වනවා.

මේ වනවිට මාසයකට අධික කාලයක් තිස්සේ රාණි චිත්‍රපටය තිරගත වන අතර සිව්වන සතිය තුළදීත්, රට පුරා සිනමා ශාලා Housefull කරන්නට එය සමත් වී තිබෙනවා. මේ දිනවල පවා කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශ රැසක සිනමා වාර බොහෝමයක් Housefull වී අවසන්!

මෙරට සිනමාවේ සිටින ප්‍රවීණ සහ අග්‍රගණ්‍ය රංගන ශිල්පිනියක වන ස්වර්ණා මල්ලවආරච්චි විසින් ප්‍රධාන චරිත නිරූපණය කරන මෙම සිනමාපටය අශෝක හඳගමගේ අධ්‍යක්ෂණයක්.

මෙලෙස රාණි චිත්‍රපටයට ලැබෙන විශාල රසික ආකර්ෂණය නිසා එහි Box Office ආදායමත් සැලකිය යුතු මට්ටමකින් ඉහළ ගොස් තිබෙනවා. මේ වනවිට රාණි චිත්‍රපටයේ සමස්ත ආදායම ශ්‍රී ලංකා රුපියල් කෝටි 15 (මිලියන 150) ඉක්මවා තිබෙනවා.

විශේෂත්වය වන්නේ, රාණි චිත්‍රපටය තිරගත වන්නේ ශ්‍රී ලංකාවේ පමණක් නොවෙයි. මේ වනවිට ලෝ පුරා තවත් රටවල් රැසකම එය ප්‍රදර්ශනය වනවා. එලෙස ලංකාවෙන් එපිට ප්‍රදර්ශනය චිත්‍රපටය ලබාගෙන තිබෙන මෙතෙක් ආදායමත් ශ්‍රී ලංකා රුපියල් කෝටි 05 (මිලියන 50) පසු කර තිබෙනවා. ඕස්ට්‍රේලියාව තුළ පමණක් මේ වනවිට ප්‍රවේශ පත්‍ර 5000කට අධික සංඛ්‍යාවක් විකිණී අවසන්.

මෙවැනි විශාල ආදායමක් සමඟින්, මෙතෙක් ශ්‍රී ලාංකීය සිනමාවේ වැඩිම ආදායමක් ඉපැයූ සිනමාපට ලැයිස්තුවට ද රාණි එක්වී අවසානයි!!

රාණි සිනමාපටයට පාදක වී තිබෙන්නේ මෙරට සිටි මාධ්‍යෙව්දියෙකු වූ රිචඩ් ද සොයිසා සහ ඇගේ මව වන මනෝරාණි සරවණමුත්තුගේ කතා පුවතයි. ප්‍රවෘත්ති නිවේදකයෙකු සහ රංගන ශිල්පියෙකු ලෙසින් ජනප්‍රියත්වයක් ලබා සිටි රිචඩ් ද සොයිසාව 1990 වසරේ පෙබරවාරි 18 වනදා අභිරහස් ලෙස ඝාතනයට ලක් වනවා. ඔහුගේ මළ සිරුර හමුවන්නේ ඊට පසු දින කොළඹ ප්‍රෙද්ශයේ වෙරළකට ගොඩ ගසා තිබිය දීයි.

එවකට පැවති රජයට එරෙහිව සිය මාධ්‍ය භාවිතය සිදු කිරීම නිසා ඔහුව පැහැරගෙන ගොස් ඝාතනය කළ බවටයි කියැවෙන්නේ. සිය පුත්‍රයාගේ මරණයෙන් පසුව, ඔහුගේ අභිරහස් ඝාතනයට යුක්තිය සොයමින්, රිචඩ්ගේ මව වන වෛද්‍ය මනෝරාණි සරවණමුත්තු විසින් සිය පුත්‍රයාගේ ඝාතකයින් සොයා ගැනීමට ඉතා වෙහෙසකර උත්සාහයක යෙදෙනවා.

රිචඩ්ගේ දේශපාලන සහ මාධ්‍ය ජීවිතයත්, ඔහුගේ මරණයෙන් පසුව යුක්තිය සොයා ගිය මනෝරාණි සරවණමුත්තුගේ වෙහෙසකර උත්සාහයත් රාණි (Raani) චිත්‍රපටයෙන් ඔබට නැරඹිය හැකියි.

ස්වර්ණා මල්ලවආරච්චි – බිමල් ජයකොඩි – සනත් ගුණතිලක – රෙහාන් අමරතුංග – මයුර කාංචන – සජිත ඇන්තනි – අශාන් ඩයස් – ප්‍රියන්ත ලලිත් – සෞම්‍ය ලියනගේ ඇතුලු මෙරට දක්ෂ නලු නිලියන් රැසක් රාණි චිත්‍රපටය සඳහා සිය රංගනයෙන් දායක වනවා.

රාණි සිනමාපටය නිෂ්පාදනය කරන්නේ Kaththi, Ponniyin Selvan, 2.0 වැනි දැවැන්ත ඉන්දීය චිත්‍රපට නිෂ්පාදනය කළ Lyca Productions වෙනුවෙන් අල්ලිරාජාහ් සුබාස්කරන් විසිනි.

Regal, Savoy, Lite Cinemas ඇතුලු දිවයින පුරා සිනමා හල් විශාල ප්‍රමාණයකදී ඔබට දැන් රාණි සිනමා සිත්තම නැරඹිය හැකියි!

Share

325 Views 5 On 1 Rating Rate it

Written by Kavinu Weerakkody


  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.