වයිෆ් (The Wife) : හේමාල් – උදාරි සුසංයෝගයෙන් අලුත්ම චිත්‍රපටයක්

Avatar Kavinu Weerakkody | March 31, 2025 128 Views 0 Likes 0 Ratings

128 Views 0 Ratings Rate it

සිංහල සිනමාවට නැවුම් කතා පුවතක් එකතු කරමින්, ශමීර නාඔටුන්න අධ්‍යක්ෂණය කරන අලුත්ම චිත්‍රපටයක වැඩ කටයුතු The Wife (වයිෆ්) නමින් පසුගියදා ආරම්භ වුනා.

මධ්‍යම පාන්තික විවාහක යුවලකගේ දුක්බර ජීවිතය වටා ගෙතෙන වයිෆ් සිනමාපටයේ ප්‍රධාන චරිත රඟපාන්නේ මෙරට ජනකාන්ත නලු නිලියන් දෙපළක් වන හේමාල් රණසිංහ සහ උදාරි වර්ණකුලසූරියයි.

තරුණ විවාහක යුවලක් වන මාධව සහ නිර්මලා ඔවුන්ගේ ආර්ථික අර්බුද හමුවේ සිය විවාහ ජීවිතය රැකගැනීමට දරන උත්සාහයත්, විවිධ ප්‍රශ්න හමුවේ මුහුණ දෙන ජීවන අරගලයත් The Wife (වයිෆ්) සිනමාපටයට පාදක වී තිබෙනවා. ඒ අතරතුරේදී මාධවගේ ප්‍රශ්න තවත් වැඩි වන්නේ දරුවෙකු ගැන නිර්මලා දකිනා සිහිනය නිසාවෙනුයි.

මේ සියලුම ගැටළු හමුවේ සිය විවාහය දෙදරා යෑමට නොදී ආදරයෙන් සහ සෙනෙහසින් ජීවිතය ජය ගන්නට මාධව සහ නිර්මලා ගන්නා උත්සාහය The Wife චිත්‍රපටය පුරාවටම ඔබට පෙන්වනවා!!

The Wife (වයිෆ්) ඔබ වෙත ගෙන එන්නේ මෙරට සිටින සම්මානනීය තරුණ අධ්‍යක්ෂකවරයෙකු වන ශමීර නාඔටුන්න යි. මෝටර් බයිසිකල් – සිහින නෙළුම් මල් චිත්‍රපටවලට පසුව ශමීර අධ්‍යක්ෂණය කරන තුන්වන චිත්‍රපටය මෙයයි.

හේමාල් සහ උදාරිට අමතරව උමා අසේනි, දිනෙත් ද සිල්වා, වීණා ජයකොඩි, රෙබෙකා දිල්රුක්ෂි, ලක්ෂ්මන් මෙන්ඩිස්, ටීනා ශනෙල්, ප්‍රියන්ත සෙනෙවිරත්න, සුලෝචනා වීරසිංහ, නෙතලි නානායක්කාර ඇතුලු ජනප්‍රිය නලු නිලියන් රැසක්ම මෙම චිත්‍රපටයට රංගනයෙන් එකතු වනවා.

වයිෆ් චිත්‍රපටයේ නිෂ්පාදන දායකත්වය සිදු කරන්නේ වරුණ අරඹගේ විසිනි. හේමාල් සහ අධ්‍යක්ෂක ශමීරගේ සුසංයෝගයෙන් ඔහු නිෂ්පාදනය කරන දෙවන සිනමාපටය මෙයයි.

චිත්‍රපටයේ කැමරාකරණය චින්තක සෝමකීර්ති සහ කලා අධ්‍යක්ෂණය ධම්මික හේවාදුත්ත යි. තිස්ස සුරේන්ද්‍ර විසින් සංස්කරණය සිදු කරනු ලබනවා. චිත්‍රාල් සෝමපාල මෙහි සංගීත අධ්‍යක්ෂකවරයායි. අංග රචනය බුවනෙක රණවකගෙනි. ශබ්ද පරිපාලනය අරුණ ප්‍රියන්ත කළුආරච්චියි.

Share

128 Views 0 Ratings Rate it

Written by Kavinu Weerakkody


  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.