වාලම්පුරි – කූඹියෝ ඔබ වෙත ගෙනා ලක්මාල් ධර්මරත්නගේ අලුත්ම සිනමාපටය දැන් තිරගත වේ

Avatar Kavinu Weerakkody | April 27, 2025 205 Views 0 Likes 0 Ratings

205 Views 0 Ratings Rate it

ලක්මාල් ධර්මරත්න මෙරට රසිකයින් අතරෙ හි ජනාදරයට පත් වුනේ කූඹියෝ ටෙලි නාට්‍යයත් සමඟයි. එතෙක් මෙරට විකාශනය වූ කිසිදු ටෙලි වෘතාන්තයකට නොදෙවෙනි ජනප්‍රියත්වයක් ලැබූ කූඹියෝ ටෙලි නාට්‍යය මෙරට ප්‍රධාන සම්මාන උළෙල කිහිපයකදී සම්මානයටත් පාත්‍ර වුනා.

කූඹියෝ ටෙලි නාට්‍යයට පසුව ලක්මාල් ධර්මරත්න විසින් අධ්‍යක්ෂණය කළ නවතම සිනමාපටය, “වාලම්පුරි: හෙවත් හීන හතහමාරක්” නමින් පසුගියදා ලෝ පුරා රටවල් 15කට ආසන්න ප්‍රමාණයකදී තිරගත වීම ඇරඹුනා.

මෙරට ජනප්‍රිය නලු නිළියන් රැසකගේ රංගනයෙන් හැඩවී තිබෙන මෙම සිනමාපටය දිවෙන්නේ ‘වාලම්පුරියක්’ විකිණීමට උත්හාස දරන පුද්ගලයින් කිහිප දෙනෙකු සහ ඔවුන්ගේ උපාය වැරදීමත් සමඟ මුහුණ දෙන්නට සිදුවන අනපේක්ෂිත සිද්ධි දාමය වටායි.

නාට්‍ය කණ්ඩායමක සාමාජිකයින් ලෙසින් දුර ඈත ගම්මානයක සිට කොළඹ නගරයට පැමිනෙන, සිඩ්නි ඇතුලු අට දෙනෙකුගෙන් යුතු කණ්ඩායමක් අග නුවරදී තම ජීවිතය ගැට ගසා ගන්නට දරන උත්සාහය වාලම්පුරි චිත්‍රපටයෙන් ඔබට දැක ගන්නට පුලුවන්. කොළඹ නගරයේදී ඔවුන්ට හමුවන මැඩම් සිසිකා නැමැති කාන්තාවගේ උදව්වෙන්, විවිධ අත යට ගනුදෙනු හරහා ජීවිතය ගැටගසා ගන්නා ඔවුන්ට නොසිතූ කරදරවලට මුහුණ දෙන්නට සිදුවන්නේ ඔවුන්ගේ නාට්‍ය කණ්ඩායමේ පූසාරි ගෙන එන වාලම්පුරි කොන්ත්‍රාත්තුවක් නිසාවෙනුයි.

මෙහි කතාව සහ තිර පිටපත ලියා තිබෙන්නේ ද කූඹියෝ ටෙලි නාට්‍යය රචනා කළ දමිත චන්ද්‍රසිරි විසින්මයි. අධ්‍යක්ෂක ලක්මාල් ධර්මරත්නත් තිර පිටපත් රචනය සඳහා එකතු වී තිබෙනවා.

චිත්‍රපටයේ නිල පූර්ව ප්‍රචාරක පටය පහතින් >>>>>>>

 

වාලම්පුරි සිනමාපටයෙ හි ප්‍රධාන චරිත සඳහා රංගනයෙන් දායක වන්නේ ප්‍රියන්ත සිරිකුමාර – දිල්හානි ඒකනායක – සරත් කොතලාවල – තුමිඳු දොඩන්තැන්න – වසන්ත මොරගොඩ – අශාන් ඩයස් – අංජන ප්‍රේමරත්න – ඇන්ඩෘ පුල්ලේ – උදයන්ති කුලතුංග වැනි මෙරට සිනමාවේ අත්දැකීම් බහුල නලු නිළියන් පිරිසකුයි.

තුමිඳු දොඩන්තැන්න මීට පෙර කූඹියෝ ටෙලි නාට්‍යමාලාවේ ප්‍රධාන චරිතයකටත් පණ පෙවූ අතර පසුගිය දිනෙක දිවි ගමනින් සමුගත්, දක්ෂ රංගන ශිල්පියෙකු වූ දර්ශන් ධර්මරාජ් ද “වාලම්පුරි” සිනමාපටයෙන් දැකගත හැකියි.

චිත්‍රපටයේ විධායක නිෂ්පාදනය අසංක දොඩන්තැන්න – ප්‍රදීප් පෙරේරා විසිනි. මීට පෙර, කූඹියෝ ටෙලි නාට්‍යයේ නිෂ්පාදන පිරිවැය දැරුවේත් අසංක දොඩන්තැන්නයි.

දිමුතු කාලිංග වාලම්පුරි චිත්‍රපටයේ කැමරා අධ්‍යක්ෂකවරයා ලෙසත් මජිත උයන්ගොඩ සහාය කැමරා අධ්‍යක්ෂණයෙනුත් වාලම්පුරි චිත්‍රපටයට එකතු වුනා. චින්තක ජයකොඩිගේ සංගීතයෙන් හැඩවන මෙහි අංග රචනය ප්‍රියන්ත දිසානායක විසිනි. සංඛ මල්වත්ත චිත්‍රපටයේ සංස්කරණ ශිල්පියායි.

නුවන් සනුරන්ඛ නිෂ්පාදන සැලසුම්කරණයෙන් සහ ලසන්ත උඩුකුඹුර ඇඳුම් නිර්මාණකරයෙන් මීට සම්බන්ධ වී තිබෙනවා. VFX නිර්මාණකරණයෙන් එක්වන්නේ නසාෆි මොහොමඩ්. තරිදු කාරියවසම් සහාය සංස්කරණයෙන් සහ චාමර සේලාර සහාය අධ්‍යක්ෂණයෙන් එක්වුනා. දිමුතු කාලිංග දහනායක සහ මජිත් උයන්ගොඩ වාලම්පුරි සිනමාපටයේ කැමරාකරණයෙන් සහාය වන අතර අතුල ජයසිංහ ශබ්ද පරිපාලනයෙන් සම්බන්ධ වනවා.

අංජන ආශුබෝධ මෙහි නිෂ්පාදන කළමනාකරුයි. චිත්‍රපටයේ විධායක නිෂ්පාදනය උදාර අබේසුන්දර සහ ප්‍රිමාල් රණසිංහ එකතුවෙනි.

කූඹියෝ ටෙලි නාට්‍ය ලැබූ අසීමිත ජනප්‍රියතාවය නිසාම, එහි විකාශනය අවසන් වූ පසු කූඹියෝ කණ්ඩායමේ මූලිකත්වයෙන් නිර්මාණය වන තවත් ටෙලි නාට්‍යයක් හෝ සිනමාපටයක් ගැන මෙරට රසිකයින් බොහෝ බලාපොරොත්තු තබාගෙන සිටියා. ඒ නිසාම වාලම්පුරි චිත්‍රපටය ගැන මේ වනවිටත් සමාජ මාධ්‍ය තුළ විශාල අවධානයක් ලැබී තිබෙනවා.

සිනමාශාලාවෙන් ඈත් වුනු ලාංකීය තරුණ ප්‍රජාව, නැවතත් මෙරට සිනමාවට ළං කරගැනීමට වාලම්පුරි සිනමාපටයට හොඳ අවස්ථාවක් තිබෙනවා. මෙම වසර මුල සිටම රාණි – නෙලුම් කුලුන වැනි සිනමාපට හරහා මෙරට සිනමාවට ලං වූ ප්‍රේක්ෂකාගාරය වාලම්පුරි චිත්‍රපටයත් එලෙසින් ම රඳවා ගනු නොඅනුමානයි!

දිවයින පුරා සිනමාහල් 60කට ආසන්න ප්‍රමාණයකදී ඔබට දැන් වාලම්පුරි නැරඹීමට පුලුවන්.

Share

205 Views 0 Ratings Rate it

Written by Kavinu Weerakkody


  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.