විහඟ ප්‍රේමය 54වන ගෝආ අන්තර්ජාතික සිනමා උළෙලට යයි
දෙස් – විදෙස් සම්මානයට පාත්‍ර වූ මෙරට සිටින දක්ෂ සිනමාකරුවෙකු වන සංජීව පුෂ්පකුමාර විසින් අධ්‍යක්ෂණය කළ ඔහුගේ නවතම සිනමා නිර්මාණය, විහඟ ප්‍රේමය – Peacock Lament චිත්‍රපටය ඉන්දියාවේ වාර්ෂිකව සංවිධානය වන ප්‍රමුඛ පෙළේ ජාත්‍යන්තර සිනමා උළෙලක් වන 54 වන ගෝආ අන්තර්ජාතික සිනමා උළෙලට (Goa – International Film Festival of India)” තේරී පත්ව තිබෙනවා.
මෙය ලෝකයේ ප්‍රධානතම සිනමා උළෙල කිහිපයෙන් එකක් වන අතර ආසියානු කලාපයේ ඉපැරණිතම චිත්‍රපට උළෙල ලෙසටත් සිනමා රසිකයින්ගේ ගෞරවයට පාත්‍ර වී තිබෙනවා. මෙවර එම උළෙල පැවැත්වෙන්නේ එළඹෙන නොවැම්බර් 20 වනදා සිට 28 වනදා දක්වායි.
සංජීව පුෂ්පකුමාරගේ විහඟ ප්‍රේමය සිනමාපටය මින් පෙර 35වන ටෝකියෝ අන්තර්ජාතික සිනමා උළෙලෙ හි ‘විශිෂ්ටතම කලාත්මක සම්ප්‍රදානය’ හෙවත් Best Artistic Contribution Award සම්මානය දිනා ගැනීමටත් පසුගියදා සමත් වුනා. පසුගිය දස වසර ඇතුළතදී ලාංකීය සිනමා කෘතියක් ලොව A ශ්‍රේණියේ ජාත්‍යන්තර සිනමා උළෙලකදී ලද ප්‍රධානතම සම්මානය වන්නේ ද මෙයයි.
ටෝකියෝ අන්තර්ජාතික සිනමා උළෙල හැඳින්වෙන්නේ ලෝකයේ ප්‍රධානම A ශ්‍රේණියේ සිනමා උළෙල කිහිපයෙන් එකක් ලෙසටයි.
මෙය සංජීව පුෂ්පකුමාරගේ චිත්‍රපටයක් ගෝආ අන්තර්ජාතික සිනමා උළෙලට ආරාධනා ලැබූ පළමු අවස්ථාව ද නොවෙයි. මීට පෙර ඔහු පළමු වරට අධ්‍යක්ෂණය කළ ඉගිල්ලෙන මාලුවෝ – Flying Fish චිත්‍රපටය ද, 2011 වර්ෂයේදී 42වන ගෝආ අන්තර්ජාතික සිනමා උළෙල නියෝජනය කළා.
එමෙන්ම, සංජීව පුෂ්පකුමාරගේ ආසු (ASU) චිත්‍රපටයත් මේ දිනවල දිවයින පුරා සාර්ථකව තිරගත වෙමින් තිබෙනවා.
විහඟ ප්‍රේමය – Peacock Lament චිත්‍රපටයේ නිල පූර්ව ප්‍රචාරක පටය පහතින්:
විහඟ ප්‍රේමය – Peacock Lament චිත්‍රපටයට පාදක වී තිබෙන්නේ මෙරට සිදුවන ළමා ජාවාරමක් වටායි. මෙරට බිළිඳු දරුවන් විදේශිකයින්ට අලෙවි කරන කූට ජාවාරමක් ගැන කියැවෙන මෙම සිනමාපටයේ ප්‍රධාන චරිතය නිරූපණය කරන්නේ මෙරට සිටින ප්‍රවීණ රංගන ශිල්පිනියක වන සබීතා පෙරේරා විසිනුයි.
’80 සහ ’90 දශකවලදී මෙරට සිටි ජනප්‍රියම නිළියක වූ සබීතා පෙරේරා එකල පාකිස්ථානය තුළද ඉමහත් ජනප්‍රියත්වයක් ලැබූ නිළියක්. ඇය විශාල පාකිස්ථානු චිත්‍රපට ප්‍රමාණයකට රංගන දායකත්වය ලබා දුන් අතර ඉන්දියානු චිත්‍රපට කිහිපයකත් ප්‍රධාන චරිත නිරූපණය කළා.
නමුත් 2000 දශකයේ මුල් භාගයෙන් පසුව සබීතා පෙරේරා ලාංකීය සිනමාව තුළ එතරම් දක්නට ලැබුනේ නැහැ. ඇය වසර දහයකට ආසන්න කාලයකින් පසුව යළිත් සිනමා රංගනයට එක්වන පළමු අවස්ථාව විහඟ ප්‍රේමය වන අතර මෙතෙක් සබීතා පෙරේරා විසින් ඉදිරිපත් කළ විශිෂ්ටතම රංගන දායකත්වයක් විහඟ ප්‍රේමය තුළින් ඔබට නැරඹිය හැකියි.
සබීතා පෙරේරාට අමතරව අකලංක ප්‍රභාෂ්වර, ඩිනාරා පුංචිහේවා, මහේන්ද්‍ර පෙරේරා, අමිත්ත වීරසිංහ සමඟින් ප්‍රකට ඉතාලි ජාතික රංගන ශිල්පී ලොරෙන්සෝ අක්කුවිවා (Lorenzo Acquaviva) ඇතුළු පිරිසක් මෙහි රංගනයෙන් දායක වනවා.
ශ්‍රී ලංකාව වෙනුවෙන් සංජීව පුෂ්පකුමාර සහ අමිල් අබේසුන්දර ලෙස කටයුතු කරන අතර ඉතාලියේ ෆිල්ග්‍රිම්ස් නිෂ්පාදන සමාගම වෙනුවෙන් අන්ද්‍රෙයා මැග්නානි (Andrea Magnani) සහ කියාරා බාබෝ (Chiara Barbo) කටයුතු කරයි. සම – නිෂ්පාදනයෙන් සුරංග හඳපාන්ගොඩ, යුගන්ති යශෝදරා එක්ව සිටිනවා.
විහඟ ප්‍රේමය චිත්‍රපටයේ කැමරාකරණය සිසිකිරණ පරණවිතාන සිදු කළ අතර සංස්කරණය ඉතාලි ජාතික ගුසෙපේ ලියොනති සහ අජිත් රාමනායක විසිනි. මංජුල අයගම කලා අධ්‍යක්ෂණයෙන් ද, අජන්ත අලහකෝන් ඇඳුම් නිර්මාණකරණයෙන් ද එක්ව සිටිනවා. සංගීත නිර්මාණය ඉතාලි ජාතික ක්‍රිස්ටියන් කාර්රාරා විසිනි. ශබ්ද සංකලනය ඉතාලි ජාතික එරික් නාර්දීන් සිදු කරන ලදී.
ශබ්ද පටිගත කිරීම සහ සංස්කරණය ලාල් දිසානායක සහ නන්දා නන්දි ජයකොඩි විසිනි. ඊශ්‍රාලයේ පිහිටි ඇන්ටිපෝඩ් (ANTIPOD) ආයතනය විහඟ ප්‍රේමය සිනමාපටය ලෝ පුරා බෙදා හැරීමේ සහ අලෙවි කටයුතු බාර නියෝජිතයා ලෙස කටයුතු කරනු ලබයි.
විහඟ ප්‍රේමය සිනමාපටයෙ හි අන්තර්ජාතික ප්‍රදර්ශනය අරඹා තිබෙන අතර මේ දිනවල ඉතාලියේ සිනමා ශාලා කිහිපයකම එරට මහජනයා වෙනුවෙන් ප්‍රදර්ශනය වෙමිනුයි තිබෙන්නේ…
එළඹෙන 2024 වසරේදී මෙම චිත්‍රපටයේ ලාංකීය ප්‍රදර්ශනය ත් ඇරඹීමට නියමිතයි.
Written by Kavinu Weerakkody