‘වෙඩි නොවදින ළමයි’ දැන් තිරගත වේ

Avatar Kavinu Weerakkody | February 16, 2023 1824 Views 0 Likes 4.67 On 3 Ratings

1824 Views 4.67 On 3 Ratings Rate it

හෝ ගානා පොකුණ ඔබ වෙතට ගෙන ආ ඉන්දික ෆර්නෑන්ඩු අධ්‍යක්ෂණය කළ නවතම ලාංකීය චිත්‍රපටය, “වෙඩි නොවදින ළමයි” (Bulletproof Children) දිවයින පුරා සිනමා ශාලාවලදී අද සිට (16) තිරගත වීම ඇරඹුනා.

මෙම වෙඩි නොවදින ළමයි චිත්‍රපටයට පාදක වී තිබෙන්නේ 1996 වසරේ ශ්‍රී ලංකාව ලෝක කුසලානය දිනා ගත් රාත්‍රියේදී, කොළඹ සිට අනුරාධපුරය දක්වා ගමන් කරන බස් රථයක සිදු වන සිද්ධි මාලාවකුයි.
කොළඹ සංගීත තරඟයකට සහභාගී වී ගමට යන පාසල් දරුවන් කිහිප දෙනෙක්…
රැකියාව නිමා කර නිවස් බලා පිටත් වන බීමත් වයස්ගත මිතුරන් දෙදෙනෙක්…
ලෝක කුසලානයේ අවසන් මහා තරඟය අසමින් සිටින ක්‍රිකට් රසිකයෙක්…
මගින් බසයට නඟින භික්ෂූන් වහන්සේලා පිරිසක්…
නිවෙස්වලට හොර රහසේ පෙම්වතා හා පලා යන ධනවත් තරුණියක්…
මැජික්කාරයෙක්…
සමඟින්,
කුඩා කාඩ්බෝඩ් පෙට්ටියක් තුරුළු කරගෙන බස් රථයට ගොඩ වදින දුක්මුසු පෙනුමක් සහිත සැමියෙක් සහ ඔහුගේ බිරිඳ “වෙඩි නොවදින ළමයි” (Bulletproof Children) සිනමාපටයේ ප්‍රධාන භූමිකා කිහිපය නිරූපණය කරනවා. බස් රථය ගමනාන්තයට යන අතරෙ හි කිසිවෙකුත් නොසිතූ අනපේක්ෂිත සිදුවීම් රාශියකට මුහුණ දීමට ඔවුන්ට සිදු වන අතර චිත්‍රපටය ගෙතෙන්නේ ඒ වටායි.

2014 වසරේදී හෝ ගානා පොකුණ සිනමාපටයෙන් අනතුරුව, ඉන්දික ෆර්ඩිනෑන්ඩු අධ්‍යක්ෂණය කරන දෙවන සිනමා නිර්මාණය වන්නේ මෙයයි. නමුත් ඔහු පවසන පරිදි වෙඩි නොවදින ළමයි චිත්‍රපටයේ තිර පිටපත ලියා තිබෙන්නේ හෝ ගානා පොකුණටත් පෙරයි. එමෙන්ම ඔහුගේ කුළුදුල් – වෘතාන්ත චිත්‍රපටය ලෙස පළමු වරට අධ්‍යක්ෂණය කිරීමට නියමිතව තිබී ඇත්තේ ද වෙඩි නොවදින ළමයි (Bulletproof Children) සිනමාපටයයි.
නමුත් ප්‍රථම චිත්‍රපටය ලෙසට “හෝ ගානා පොකුණ” අධ්‍යක්ෂණය කරන ලෙසට ආ ආරාධනාවක් නිසා ඔහු එහි වැඩ කටයුතු මුලින් ආරම්භ කොට තිබෙනවා.

මෙරට ප්‍රේක්ෂකයින් අතර අසීමිතව ජනප්‍රිය වුනු හෝ ගානා පොකුණ සිනමාපටයෙන් පසුව, 2108 වසරේදී මෙහි නිෂ්පාදන කටයුතු ඇරඹි අතර රූපගත කිරීම් සඳහා දින පනහකට ආසන්න කාලයක් ගතවී තිබෙනවා. චිත්‍රපටයේ දර්ශනවලින් අතිශය බහුතරයක් රූගත කොට තිබෙන්නේ රාත්‍රී කාලයේදී යි.
එමෙන්ම චිත්‍රපටයේ ධාවන කාලයෙන් 80%ක්ම වෙන් වන්නේ බස් රථය ඇතුළත දර්ශන සඳහා බවයි ඉන්දික ෆර්ඩිනෑන්ඩු පවසන්නේ.

වෙඩි නොවදින ළමයි (Bulletproof Children) හි නිල පූර්ව ප්‍රචාරක පටය පහතින් දක්වා තිබෙන අතර ඊට සමාජ මාධ්‍ය අවකාශයේ ධනාත්මක ප්‍රතිචාරයක් හිමි වනු දැකගන්නට ලැබුනා.

චිත්‍රපටයේ ප්‍රධාන මෙන්ම සුලු චරිත සියල්ලටම පාහේ මෙරට සිටින ජනප්‍රිය නලු නිළියන් රැසක් යොදාගෙන තිබීම මෙහි තවත් සුවිශේෂීත්වයක්! කලණ ගුණසේකර, අනසුයා සුබසිංහ, අනුලා බුලත්සිංහල, මහේන්ද්‍ර පෙරේරා, හේමසිරි ලියනගේ, ස්ටෙෆාන් තිරිමාන්න, අශාන් ඩයස්, දයාදේව එදිරිසිංහ, රන්දික ගුණතිලක, උදේනි චන්ද්‍රසිරි, කසුනි කාවින්දි සහ සේවියර් කණිෂ්ක වැනි රංගන ශිල්පීන් ගණනාවක්ම ඔබට මෙහි දැකගත හැකියි.
එමෙන්ම වසර කිහිපයකට පෙර අප අතරින් සමුගත්, මෙරට සිටි විශිෂ්ට චරිතාංග රංගධරයෙකු වූ ජයලත් මනෝරත්න ශූරීන් ද වෙඩි නොවදින ළමයි සිනමාපටයේ උප-ප්‍රධාන භූමිකාවකට පණ පොවනවා.

Black Comedy හා Thriller ශානරයට අයත් වන මෙම සිනමාපටය තුළ සංගීතය සඳහාත් විශාල ඉඩ පරාසයක් වෙන් කොට තිබෙනවා. ඒ නිසාම Semi Musical නිර්මාණයක් ලෙසත් මෙය වර්ග කරන්නට පුලුවන්. චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණය නදීක වැලිගොඩපල සමඟින් තිලංග ගමගේයි.

චීනයේ Golden Rooster සිනමා උළෙල, ඉන්දියාවේ බැංගලෝර් සිනමා උළෙල, බංගලාදේශයේ ඩකා අන්තර්ජාතික සිනමා උළෙල වැනි ජාත්‍යන්තර ගණයේ සිනමා සම්මාන උළෙල ගණනාවක් නියෝජනය කළ මෙම නිර්මාණය පසුගිය දෙසැම්බර් මාසයේදී ශ්‍රී ලංකාව තුළත් පළමු වරට ප්‍රදර්ශනය වුනා. ඒ උතුරු අර්ධද්වීපය මූලික කරගෙන පසුගියදා පැවැත්වුනු “08වන යාපනය අන්තර්ජාතික සිනමා උළෙල” දීයි.
මෙවර එහි ආරම්භක චිත්‍රපටය ලෙසට තෝරාගෙන තිබුනේ ඉන්දික ෆර්ඩිනෑන්ඩු අධ්‍යක්ෂණය කළ වෙඩි නොවදින ළමයි (Bulletproof Children) චිත්‍රපටයයි.

ඉන්දික සමඟින් පියල් කාරියවසම් එක්ව ‍මෙහි තිර පිටපත රචනා කොට තිබෙන අතර සංස්කරණය තිස්ස සුරේන්ද්‍රයි. දිමුතු කාලිංග දහනායකගේ කැමරාකරණයෙන් හැඩවූ මෙහි කලා අධ්‍යක්ෂකවරයා කසුන් මහවඩුගේයි. දිනිඳු ජාගොඩ වර්ණ සංයෝජනයෙන් එක්ව තිබෙනවා. බුවෙනෙක රණවක චිත්‍රපටයේ වේශ නිරූපණ ශිල්පියායි. ශබ්ද පරිපාලනයෙන් සම්බන්ධව තිබෙන්නේ සසික රුවන් මාරසිංහයි. සහාය අධ්‍යක්ෂණය තරිඳු රනපුරගෙනි. නිෂ්පාදන කළමනාකරණය මධුරංග ජාගොඩගෙනි.
Deep Motion Pictures වෙනුවෙන් චිත්‍රපටය නිෂ්පාදනය කරන්නේ දීපා එදිරිසිංහයි. මෙය ඇයගේ පළමු චිත්‍රපට නිෂ්පාදනය ද වනවා.

අද (පෙබරවාරි 16 වනදා) සිට චිත්‍රපටයේ ප්‍රදර්ශනය ඇඹුනු අතර සැවෝයි ඇතුළු EAP මණ්ඩලයේ සිනමාහල් ගණනාවකදී ඔබට දැන් මෙය නැරඹිය හැකියි.

Share

1824 Views 4.67 On 3 Ratings Rate it

Written by Kavinu Weerakkody


  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.