ශාරුක් ඛාන්ට එදිරිව සල්මන් ඛාන්!
1988 වසරේදී “Biwi Ho To Aisi” චිත්‍රපටයේ සුලු චරිතයකින් රංගනයට පිවිසුනු සල්මන් ඛාන්, මේ වනවිට පුරා වසර තිස් පහකට අධික කාලයක් තිස්සේ සක්‍රීයව හින්දි සිනමාවට දායක වෙමින් සිටිනවා. එම දශක තුන පුරාවට බොලිවුඩ් සිනමාවට කොතෙක් නම් නලු නිළියන් පැමිණිය ද, සල්මන් ඛාන්ගේ ජනප්‍රියත්වය සහ රසික ඉල්ලුම යම් තරමකින් හෝ අඩු වී නැහැ.
සල්මන් ඛාන් රඟපෑ Hum Aapke Hain Koun…! (1994) – Hum Dil De Chuke Sanam (1999) – Andaz Apna Apna (1994) – Judwaa (1997) වැනි චිත්‍රපට හින්දි සිනමාව තුළ සදාතනිකයි.
අදටත් බොලිවුඩ් සිනමාවේ ජනප්‍රියම රංගන ශිල්පීන් ලැයිස්තුවෙ හි මුල් තැනක් ගන්නට සල්මන් ඛාන් නිතරඟයෙන්ම සමත්ව සිටිනවා. ඔහු රඟන චිත්‍රපටයක් ඉන්දියානු කෝටි 100- 200කට එහා ආදායම් ලබමින්, BoxOffice හි සාර්ථකත්වයට පත් වීම බොහොම සුලබ කාරණයක්.
’90 දශකය සහ ‘2000 මුල භාගය වන තුරු romantic චිත්‍රපටවල ආදරවන්තයාගේ චරිතවලට සල්මන් ඛාන් වැඩි නැඹුරුවක් දැක්වූවත්, පසුව ඔහු එයින් මිදී ක්‍රියාදාම චිත්‍රපට සඳහා වැඩි වශයෙන් එක්වන්නට පටන් ගත්තා. 2010න් පමණ පසුව සල්මන් ඛාන් රඟපෑ චිත්‍රපට සියල්ලම පාහේ Action Sequences බහුල- සටන් ජවනිකා පිරුනු ක්‍රියාදාම ගණයේ සිනමාපටයි.
සල්මන් ඛාන්ගේ ප්‍රසිද්ධ Dabangg චිත්‍රපට මාලාව ඇරඹුනේත් ඉන් පසුවයි. Dabangg – Ek Tha Tiger – Kick – Tiger Zinda Hai – Race 3 – Radhe වැනි ක්‍රියාදාම චිත්‍රපට ගණනාවකට ඔහු දිගින් දිගටම රංගනයෙන් සම්බන්ධ වුනා. එමෙන්ම එයින් බොහෝමයක් ආදායම් වාර්තා අතින් සාර්ථක වූ නිර්මාණ…
සල්මන් ඛාන් අවසාන වතාවට රඟපෑ, පසුගිය අප්‍රියෙල් මාසයේදී තිරගත වූ “Kisi Ka Bhai Kisi Ki Jaan” හින්දි චිත්‍රපටයත් එවැනිම සටන් පිරුනු ඇක්ෂන් ත්‍රිලර් මාදිලියේ චිත්‍රපටයක් වුවත් සාර්ථක බොක්ස්ඔෆිස් ආදායමක් රැස් කරගන්නට නම් ඊට හැකියාව ලැබුනේ නැහැ.
Kisi Ka Bhai Kisi Ki Jaanට පසුව සල්මන්ගේ අලුත්ම චිත්‍රපටය ‘Tiger 03’, එළඹෙන නොවැම්බර් 10 වනදා සිට ලෝ පුරා තිරගත කිරීමට නියමිතව තිබෙනවා. මේ දිනවල එහි පසු නිෂ්පාදන කටයුතු සිදුවෙමින් තිබෙන අතර චිත්‍රපටයේ සල්මන්ගේ හඬ කැවීම් කටයුතුත් මේ වනවිට සිදු කර අවසානයි.
මේ සිනමා නිර්මාණවලින් පසුව සල්මන් ඛාන් ප්‍රධාන චරිතයට රංගනයෙන් එක්වීමට සූදානම් වන තවත් නවතම චිත්‍රපටයක තොරතුරු මාධ්‍යයට අණාවරණය වුනේ මේ අතරතුරේදී යි. විශේෂත්වය වන්නේ Karan Johar සහ Salman Khan සුසංයෝගය වසර 25කට පසුව යළිත් එක්වන්නේ මෙම චිත්‍රපටය හරහායි. 1998 වසරේදී Karan Johar අධ්‍යක්ෂණය කළ, ඔහුගේ පළමු සිනමාපටය වූ Kuch Kuch Hota Hai හි කැමියෝ චරිතයකට සල්මන් ඛාන් රංගනයෙන් එක්වුනු අතර ඔවුන් දෙදෙනා එකට වැඩ කළ මුල්ම අවස්ථාව වූයේ ද එයයි.
Kuch Kuch Hota Haiට පසුව කරන් – සල්මන් දෙදෙනාගේ මූලිකත්වයෙන් අවස්ථා කිහිපයකදීම නවතම සිනමාපටයක නිෂ්පාදන කටයුතු අරඹන්නට සූදානම් වුවත්, එය සාර්ථක වූයේ නැහැ.
ඊට වසර 25කට පසුව ඔවුන් දෙදෙනා මෙම සිනමාපටය වෙනුවෙන් යළිත් එක්වීමට නියමිතයි. නමුත් මෙවර කරන් ජොහාර් මීට සම්බන්ධ වන්නේ අධ්‍යක්ෂකවරයා ලෙසින් නොව; නිෂ්පාදකවරයාගේ භූමිකාව සඳහායි. කරන් ජොහාර්ගේ Dharma Productions ආයතනයයි, සල්මන් රඟන මෙම නවතම චිත්‍රපටය නිෂ්පාදනය කරන්නේ…
මෙහි ප්‍රධාන කාන්තා චරිතයට තවමත් කිසිදු නිළියක ගිවිසුම්ගත වී නැතත් ක්ෂේත්‍රයේ ජනප්‍රිය තරු කිහිප දෙනෙකුගේම නම් ඊට යෝජනා වී තිබෙනවා. එමෙන්ම මෙහි උපප්‍රධාන චරිත කිහිපයක් සඳහා හින්දි සිනමාවේ එතරම් ජනප්‍රිය නැති, නමුත් දකුණු ඉන්දීය සිනමාවේ ප්‍රධානම රංගන ශිල්පිනියන් කිහිප දෙනෙකුම එක්වීමට නියමිතයි. තෙළිඟු නිළි Samantha සහ Anushka Shetty ද, දමිළ නිළි Trisha ද එලෙස යෝජනා වුනු දකුණු ඉන්දීය නිළියන් අතරෙ හි සිටින බවට ආරංචියි.
හින්දි සිනමාවේ නලු නිළියන්ට පමණක් සීමා නොවී දකුණු ඉන්දීය රංගන ශිල්පීන්වත් මෙම සිනමාපටයට සම්බන්ධ කරගැනීමට ප්‍රධානම හේතුව මෙහි අධ්‍යක්ෂකවරයා Vishnu Vardhan වීමයි. දශක දෙකකට අධික කාලයක් සක්‍රීය සිනමා අධ්‍යක්ෂකවරයෙකු ලෙසින් කටයුතු කරන විෂ්නුවර්ධන් දකුණු ඉන්දීය සිනමාව තුළ පෙරළිකර චිත්‍රපට රැසක් අධ්‍යක්ෂණය කළා.
සුප්‍රසිද්ධ දමිළ නලු අජිත් කුමාර්ගේ සිනමා ජීවිතයේ හැරවුම් ලක්ෂයක් බඳු Billa (2007) චිත්‍රපටයත් විෂ්නුවර්ධන්ගේම අධ්‍යක්ෂණයක්.
ඔහු හින්දි සිනමාවට පිවිසෙන්නේ 2021 වර්ෂයේදී Shershah චිත්‍රපටයත් සමඟයි. සිද්ධාර්ත් මල්හෝත්‍රා සහ කියාරා අද්වානි ප්‍රධාන චරිත නිරූපණය කළ එය, පසුගිය National Film Awards හිදී “හොඳම හින්දි චිත්‍රපටය වෙනුවෙන් පිදෙන ඉන්දීය ජාතික සම්මානය” පවා ජයග්‍රහණය කළා. සල්මන් ඛාන් සමඟින් නිර්මාණය වන මෙම නවතම චිත්‍රපටය මෙන්ම Shershah සිනමාපටය නිෂ්පාදනය කළේත් කරන් ජොහාර්ගේ Dharma Productions ආයතනයයි.
අධ්‍යක්ෂක Vishnu Vardhan මේ දිනවල ඔහුගේ නවතම දමිළ සිනමා නිර්මාණයේ පසු නිෂ්පාදන කටයුතුවලට කාර්යබහුල වී සිටින නිසා එය අවසන් වූ වහාම ඔක්තෝබර් මාසය ඇතුළතදී මෙහි පළමු රූපගත කිරීම් කොටස ඇරඹේවි. මාසයක පමණ කාලයක් එකදිගට සිදු කිරීමට සැලසුම් කර තිබෙන එම රූගත කිරීමෙන් අනතුරුව එළඹෙන ජනවාරි මාසයේ සිට චිත්‍රපටයේ ඉතිරි දර්ශන සියල්ලම සම්පූර්ණ කිරීමටයි නිෂ්පාදක කණ්ඩායම තීරණය කොට තිබෙන්නේ…
පැවසෙන පරිදි මෙය ඉන්දියානු හමුදාව වටා ගෙතෙන චිත්‍රපටයක් වගේම සල්මන් ඛාන් රඟපාන්නේ හමුදා බුද්ධි අංශ සොල්දාදුවෙකුගේ චරිතයක්. චිත්‍රපටය සඳහා ඉන්දියානු හමුදාවට අදාළ සත්‍ය සිදුවීම් කිහිපයක් පාදක වී තිබෙන බවත් සඳහන් වනවා.
එළඹෙන වසර මුලදී සිදුවන මෙම චිත්‍රපටයේ රූපගත කිරිම්වලින් අනතුරුව සල්මන් ඛාන් සම්බන්ධ වන්නේ Tiger Vs Pathaan දර්ශන තලයටයි. ශාරුක් ඛාන් සහ සල්මන් ඛාන් මුහුණට මුහුණ ගැටෙන Tiger Vs Pathaan හින්දි සිනමාපටය, මෙතෙක් සිනමා ඉතිහාසයේ බිහිවීමට නියමිත දැවැන්තම බොලිවුඩ් ක්‍රියාදාම චිත්‍රපටයයි. 2024 මාර්තු සිට ජුනි මාසය දක්වාම Tiger Vs Pathaan හි සල්මන්ට අයත් දර්ශන පෙළ රූගත කිරීම සඳහා ඔහු දින වකවානු වෙන් කරවාගෙන තිබෙනවා.
ඉන් මාස කිහිපයක විරාමයකින් පසු, 2024 නොවැම්බර් මාසයේ සිට සල්මන් සිය තවත් චිත්‍රපටයක රූපගත කිරීම්වලට එක්වන අතර එය අධ්‍යක්ෂණය කරන්නේ Sooraj Barjatya විසිනුයි. සූරජ් මින් පෙර කිහිප අවස්ථාවකදීම සල්මන් සමඟ කටයුතු කර තිබෙනවා. සල්මන්ගේ Maine Pyar Kiya, Prem Ratan Dhan Payo, Hum Aapke Hain oun වැනි චිත්‍රපට සියල්ලේම අධ්‍යක්ෂකවරයා වන්නේ ඔහුයි.
Written by Kavinu Weerakkody