ශාරුක්, සල්මන්, රිතික් සමඟින් කරළියට පැමිණෙන YRF Spy Universe

Avatar Kavinu Weerakkody | July 6, 2022 158 Views 0 Likes 0 Ratings

158 Views 0 Ratings Rate it

ඉන්දියානු සිනමාවේ පළමු සිනමා විශ්වය (Cinematic Universe) ලෙස ඇතැමුන් විසින් හඳුන්වන Yash Raj Films චිත්‍රපටය නිෂ්පාදන ආයතනයේ YRF Spy Universe සිනමා විශ්වය ඇරඹෙන්නේ 2012 වර්ෂයේදී Salman Khan රඟපෑ Ek Tha Tiger හින්දි චිත්‍රපටයත් සමඟයි. Salman Khan විසින් ඉන්දියානු බුද්ධි අංශ නියෝජිත “අවිනාශ් සින්ග්” නැමැති චරිතය එහි නිරූපණය කළා. Ek Tha Tiger චිත්‍රපටය ලැබූ සාර්ථකත්වය නිසාම ඉන් වසර 05කට පසුව 2017දී, Tiger Zinda Hai නමින් එහි සීක්වල් සිනමාපටයක් නිර්මාණය කළ අතර ඉන්දීය කෝටි 560කට අධික ආදායමක් සමඟින් වසරේ වැඩිම ආදායම්ලාභී හින්දි සිනමාපටය බවට පත් වන්නට ද එයට හැකියාව ලැබුනා. Salman Khan රඟපෑ එම රහස් පරීක්ෂක සිනමාපට ද්විත්වයම අතිශය සාර්ථක වූ නිසා මෙම ශානරයේම තවත් චිත්‍රපට මාලාවක් අරඹන්නට Yash Raj Films ආයතනය තීරණය කළා. 2019 වසරේදී Hrithik Roshanගේ ප්‍රධාන රංගනයෙන් යුතු WAR චිත්‍රපටය බිහිවන්නේ එහි ප්‍රතිඵලයක් ලෙසයි. එහිදී Hrithik Roshan, මේජර් කබීර් ධාලිවල් නැමැති හමුදා නිලධාරියෙකුගේ චරිතයක් නිරූපණය කළ අතර පෙර චිත්‍රපට මෙන්ම මෙයද විශාල ජනප්‍රියත්වයක් ලබා ගත්තා.

මේ ආකාරයට සිය ආයතනයේ Action Franchises සඳහා ලැබෙන අසීමිත රසික ආකර්ෂණය පිළිබඳව වටහා ගන්නා Yash Raj Films ප්‍රධානි Aditya Chopra, මෙම ක්‍රියාදාම චිත්‍රපට සියල්ලම එකට එකතු කරමින් සිනමා විශ්වයක් නිර්මාණය කරන්නට සැලසුම් කරනවා. YRF ආයතනයේ YRF Spy Universe නැමැති සිනමා විශ්වය ආරම්භ වන්නේ මේ ආකාරයටයි.

Salman Khan සහ Hrithik Roshanගෙන් සැදුම් ලත් මෙම සිනමා විශ්වයට එකතු වන නවතම රංගන ශිල්පියා වන්නේ ඉන්දීය සිනමාවේ දැවැන්තම සිනමා තරුව ලෙස හඳුන්වන Shah Rukh Khanයි. වසර තුනකට අධික නිහැඩියාවකින් පසුව Shah Rukh Khan රඟපාන පළමු නිර්මාණය වන Pathaan හින්දි සිනමාපටය ද මෙම YRF සිනමා විශ්වයේ එක් දිගහැරුමක් බව දැන් තහවුරු වී අවසානයි. Pathaan හි ශාරුක් නිරූපණය කරන්නේද Ek Tha Tiger හි සල්මාන් ඛාන් මෙන් ඉන්දීය හමුදාවේ බුද්ධි අංශ නිලධාරියෙකුගේ චරිතයක් බවත් බොහෝ බොලිවුඩ් මාධ්‍ය පවසනවා. කෙසේ වුවත්, Pathaan චිත්‍රපටය හරහා YFR සිනමා විශ්වයේ පළමු crossover දර්ශනයත් රසිකයින්ට නැරඹීමට අවස්ථාව තිබෙනවා. ඒ Ek Tha Tiger හි “අවිනාශ් සින්ග්” චරිතයට පණ පොවමින් Salman Khan ද Pathaan සිනමාපටයෙහි extended cameo දර්ශන කිහිපයකට සම්බන්ධ වන නිසායි.
එයින් පසුව ඉදිරියේදී නිකුත් වන Ek Tha Tiger – 03 සිනමාපටයෙන් Shah Rukh Khan විසින් තවත් extended cameo චරිතයක් නිරූපණය කිරීමට නියමිතයි.

2012 වසරේ සිට මේ දක්වා YRF සිනමා විශ්වයට අයත් වෙතැ යි සැලකෙන ප්‍රධාන චිත්‍රපට 06ක් දක්නට ලැබෙනවා.
Ek Tha Tiger (2012)
Tiger Zinda Hai (2017)
War (2019)
Pathaan (2023)
Tiger 03 (2023)
War 2 

ඉහත නිර්මාණවලට අමතරව මෙම ක්‍රියාදාම සිනමා විශ්වයට එකතු වන තවත් අලුත්ම සිනමාපටයක් ගැන පසුගියදා තොරතුරු අණාවරණය වුනා. හින්දි සිනමාවේ දැවැන්තම රංගන ශිල්පීන් දෙදෙනෙකුගේ සුසංයෝගයෙන් නිර්මාණය වන එය, YRF සිනමා විශ්වයේ හයවන සිනමාපටය ලෙසයි හැඳින්වීමට නියමිතව තිබෙන්නේ. දැනට වාර්තා වෙන තොරතුරුවලට අනුව, මෙතෙක් ඉන්දියානු සිනමාවෙන් නිපදවෙන වැඩිම නිෂ්පාදන පිරිවැය සහිත දැවැන්තම ක්‍රියාදාම චිත්‍රපටය වන්නේ ද මෙයයි.

චිත්‍රපටයේ ප්‍රධාන චරිත ද්විත්වය නිරූපණය කරන්නේ ඉන්දියානු සිනමා කර්මාන්තයේ ප්‍රබලම ශිල්පීන් දෙදෙනෙකු වන Shah Rukh Khan සහ Salman Khan විසිනුයි. වර්තමාන ඉන්දියානු සිනමාවේ සිටින ජනප්‍රියතම – වැඩිම රසික ආකර්ෂණයක් සහිත නලුවන් දෙදෙනා වන Shah Rukh Khan සහ Salman Khan, වසර 27ක් පුරාවට කිසිදු සිනමාපටයක එකට රඟපා නැහැ. ඔවුන් දෙදෙනා එක්ව රඟපෑ අවසාන චිත්‍රපටය වන Karan Arjun තිරගත වූයේ 1995 වර්ෂයේදී වන අතර එය එම කාලයේ වැඩිම ආදායමක් ලැබූ සිනමා නිර්මාණයක් ද වුනා. ඔවුන් දෙදෙනාට අමතරව War චිත්‍රපටයේ මේජර් කබීර්ගේ චරිතයට පණ පෙවූ Hrithik Roshan ද මෙම නව සිනමාපටයේ වැදගත් චරිතයකට ගිවිසුම්ගත වීමට නියමිත බවට විවිධ මත පළවී තිබෙනවා.

තවමත් නිශ්චිත නමක් යොදා නොමැති මෙම සිනමාපටයේ තිර පිටපත් රචනය දැනටමත් ආරම්භ වී ඇති බවත් ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා. මෙම චිත්‍රපටයේ කතාව සහ දෙබස් රචනා කරන්නේද මෙහි නිෂ්පාදනය ආයතනය වන YRF Films හි සභාපති Aditya Chopra විසිනුයි.
Dilwale Dulhania Le Jayenge, Mohabbatein, Rab Ne Bana Di Jodi වැනි iconic චිත්‍රපටවල අධ්‍යක්ෂකවරයා වන ඔහු Dhoom 3, War, Fanaa වැනි චිත්‍රපටවල තිර පිටපත් ගණනාවක් ද රචනා කළා. ඉදිරියේදී නිකුත් වීමට නියමිත ඉහත සඳහන් කළ Pathaan සහ Tiger 03 චිත්‍රපට ද්විත්වයේ script writer වන්නේද ආදිත්‍ය චොප්රා යි.

තිර පිටපත් කටයුතු දැනටමත් ආරම්භ කර තිබුණද, මෙහි රූපගත කිරීම් සහ නිෂ්පාදන කටයුතු ඇරඹීමට නියමිතව තිබෙන්නේ 2024 වසරේදීයි. YRF ආයතනයේ නියෝජිතයින් පවසන පරිදි, 2023 අග භාගය හෝ 2024 මුල් භාගයේදී මෙහි රූපගත කිරීම් ඇරඹීමටයි aditya chopra සැලසුම් කර තිබෙන්නේ.
ශාරුක් සහ සල්මන් බොහොම කාර්යබහුල නලුවන් දෙදෙනෙකු වන නිසා මෙතෙක් ඔවුන් බාරගෙන තිබෙන සියලුම චිත්‍රපටවල නිෂ්පාදන කටයුතු අවසන් කළ පසුවයි, මෙම නිර්මාණයට ඔවුන්ගේ දායකත්වය ලබා ගැනීමට සිදුව තිබෙන්නේ.

නමුත් මෙම දැවැනත නිර්මාණය අධ්‍යක්ෂණය සඳහා තෝරාගෙන තිබෙන්නේ කවුරුන්ද යන්න පිළිබඳව නිශ්චිත තොරතුරක් තවමත් දැනගන්න ලැබී නැහැ. බොහෝ දෙනෙකු පවසන්නේ මෙය Aditya Chopraගේ සිනමා දිවියේ දැවැන්තම නිෂ්පාදනය නිසා ඔහු විසින්ම මෙය අධ්‍යක්ෂණය කරනු ඇති බවටයි. එසේ වුවහොත්, 2016දී රන්බීර් සින්ග් රඟපෑ Befikre චිත්‍රපටයෙන් පසුව ඔහු අධ්‍යක්ෂණයෙන් සම්බන්ධ වන පළමු නිර්මාණය වන්නේ මෙයයි.
ඇතැම් ගොසිප් අඩවි තුළ අධ්‍යක්ෂක Siddarth Anand ද මෙම ව්‍යාපෘතියට සම්බන්ධ යැයි විවිධ ලිපි පළ වී තිබුණත් ඒ කිසිවක් තවමත් තහවුරු වී නැහැ.

Share

158 Views 0 Ratings Rate it

Written by Kavinu Weerakkody


  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.