“සහෝ” තිරයට – විශ්ව විද්‍යාලයක මිතුරන් සිව්දෙනෙකුගේ කතාවක්

Avatar Kavinu Weerakkody | April 8, 2023 664 Views 1 Like 5 On 1 Rating

664 Views 5 On 1 Rating Rate it

ගජමෑන්, වියසිදුරු, උතුරු සුළඟ වැනි චිත්‍රපටවලින් අනතුරුව තවත් නවතම ලාංකීය සිනමා නිර්මාණයක් පසුගියදා දිවයින පුරා සිනමා හල්වලදී තිරගත වීම ඇරඹුනා. ඒ ඊයේ දිනයේ (අප්‍රේල් 07) සිට ප්‍රදර්ශනය ඇරඹුනු “සහෝ – The Comrade” නැමැති සිංහල දිගු වෘතාන්ත සිනමාපටයයි.
මහාචාර්ය ආරියරත්න ඇතුගල විසින් අධ්‍යක්ෂණය කළ මෙම චිත්‍රපටයට පාදක වී තිබෙන්නේ විශ්ව විද්‍යාලයකදී මුණගැසෙන මිතුරන් සිව් දෙනෙකුගේ ජීවිත කතාවයි.

සඳූ – තරූ – රතූ – හිරූ නැමැති විශ්ව විද්‍යාල ශිෂ්‍යයින් සිව් දෙනෙකු වටා ගෙතෙන සහෝ – The Comrade සිනමාපටය තාරුණ්‍යය සහ ඔවුන්ගේ සිතුම් පැතුම් වෙනුවෙන්ම නිර්මාණය වූවක්. මිත්‍රත්වය, ප්‍රේමය, ශිෂ්‍ය අරගලය සහ විප්ලවය ඔවුන්ගේ ජීවිතවලට බලපෑම් කරන ආකාරයත්, නොසිතූ මොහොතක ගැන නඟන ප්‍රශ්නවලට මෙම මිතුරන් සිව්දෙනා පිළිතුරු සොයා යන ආකාරයත් “සහෝ – The Comrade” චිත්‍රපටය තුළින් ඔබට දැක ගත හැකියි.

එකිනෙකට වෙනස් චරිත තුළින් රසිකයින්ගේ ආදරය දිනාගත් නව පරපුරේ දක්ෂ සහ ජනප්‍රිය නලු නිළියන් සිව්දෙනෙකු මෙහි ප්‍රධාන භූමිකාවට රංගනයෙන් සම්බන්ධ වී තිබෙනවා. ඒ දසුන් පතිරණ, ඩිනාරා පුංචිහේවා, බියංක අමරසිංහ සහ හර්ෂි අංජුමාලායි. ඔවුන් පිළිවෙළින් තරූ – සඳූ – රතූ – හිරූ නැමැති විශ්ව විද්‍යාල මිත්‍රයින් සිව්දෙනාගේ චරිත නිරූපණය කරනවා. ඊට අමතරව සොඳුරු ලොකුපෝතාගම හා නිවර්තනා දේවගේ මෙහි තවත් චරිත ද්විත්වයකට රංගනයෙන් එක් වනවා.

“සහෝ – The Comrade” චිත්‍රපටයේ නිෂ්පාදක කණ්ඩායම විසින් මෙම චරිත ගැන රසිකයින්ට හඳුන්වා දෙන්නේ මෙලෙසයි…

රතූ කියන්නෙ අධ්යාත්මික වංචාවක ඉන්න, සැබෑ අදහස් සඟවා සිටින , සිත යට ඇති කුරිරු කමක් ආගමික අදහස්වලින් වහගෙන ගූඩ ජීවිතයක් ගෙවන කෙනෙක් ද?
ඔබ දන්නා හඳුනනා බොහෝ විශ්වවිද්යාල කතන්දර මැද, ඔබ නොදුටු තවත් එක් චරිතයක්…..
“රතූ”

හිරු කියන්නේ ජීවිතය දිහා සැහැල්ලුවෙන් බලන්න කැමති, එහෙත් නිවසේ ජීවන ගැටලු වලින් බැටකන, තරමක් අවස්ථාවාදී චරිතයක් ද?
ඔබ දන්නා හඳුනනා බොහෝ විශ්වවිද්යාල කතන්දර මැද, ඔබ නොදුටු තවත් එක් චරිතයක්…..
“හිරු “

සඳු කියන්නේ සම්මත සමාජ ක්රමය පිළිගනිමින් , ආදරයට මිනිසුන්ට බයෙන් ජීවත්වෙන සෙමින් විමසිල්ලෙන් තිරණ වලට එලබෙන චරිතයක් ද?
ඔබ දන්නා හඳුනනා බොහෝ විශ්වවිද්යාල කතන්දර මැද, ඔබ නොදුටු තවත් එක් චරිතයක්…..
“සඳු”

තරු කියන්නේ මේ මොහොතේ ජීවත්වෙන, මතුපිට හැඟීම් දැනීම් එක්ක පොරබදන, සමාජ ක්රමය එක්ක වෛරයක් ඇති චරිතයක් ද?
ඔබ දන්නා හඳුනනා බොහෝ විශ්වවිද්යාල කතන්දර මැද, ඔබ නොදුටු තවත් එක් චරිතයක්…..
“තරු”

කැළණිය විශ්වවිද්‍යාල පරිශ්‍රය සහ මාතලේ රිවස්ටන් ප්‍රදේශයේදී මූලික රූපගත කිරීම් සිදු කෙරුනු මෙම සිනමාපටයේ නිෂ්පාදන කටයුතු අවසාන වූයේ 2020 වසරේදී යි. ඉන්පසුව චිත්‍රපටයේ විශේෂ දර්ශනවාරයක් කොළඹ PVR සිනමා හලේදී පැවැත්වූ අතර ජාත්‍යන්තර විදෙස් සිනමා උළෙල ගණනාවක් නියෝජනය කිරීමට ද ඊට හැකියාව ලැබුනා.

ඉන්දියාවේ ගෝල්ඩන් ලීෆ් ඉන්ටනැෂනල් සිනමා සම්මාන උළෙලේදී හොඳම ආසියානු චිත්‍රපටයට හිමි සම්මානය, ඉතාලියේ රොබින්සන් සිනමා උළෙලේදී හොඳම වෘතාන්ත චිත්‍රපටයට හිමි සම්මානය, ඇමරිකා එක්සත් ජනපදයේ හොලිවුඩ් ගෝල්ඩන් සිනමා උළෙලේදී ගෝල්ඩ් සම්මාන වෘතාන්ත චිත්‍රපටයට හිමි සම්මානය, නිව්යෝර්ක් සහ ලන්ඩන් සිනමා සම්මාන උළෙලවලදී හොඳම ස්වාධීන චිත්‍රපටයට හිමි සම්මානය ඇතුළු විදෙස් ඇගයුම් රැසක් “සහෝ – The Comrade” චිත්‍රපටයට දැනටමත් ලැබී අවසානයි.
මීට අමතරව විශිෂ්ටතම කැමරා අධ්‍යක්ෂණය | විශිෂ්ටතම සංස්කරණය | විශිෂ්ටතම අධ්‍යක්ෂණය ආදී සම්මාන ගණනාවකුත් ලෝ වටා ජාත්‍යන්තර සම්මාන උළෙල රැසකදී දිනා ගැනීමට ආරියරත්න ඇතුගලයන්ගේ මෙම සිනමාපටයට හැකිව තිබෙනවා.

සහෝ – The Comrade සිංහල චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරකපටය සහ තේමා ගීතය මේ වනවිටත් අන්තර්ජාලයට නිකුත් කොට තිබෙන අතර පහත සබැඳිය ඔස්සේ ඔබට එම නිල පූර්ව ප්‍රචාරකපටය නැරඹිය හැකියි.

“සහෝ – The Comrade” සිනමාපටයේ අධ්‍යක්ෂණය මෙන්ම තිර පිටපත් රචනය සිදු කර තිබෙන්නේ ද මහාචාර්ය ආරියරත්න ඇතුගල විසිනි. ඔහු මීට පෙර ටෙලිනාට්‍ය සහ වේදිකා නාට්‍ය කිහිපයක්ම නිෂ්පාදනය කර තිබෙන නමුත් සිනමාවට පිවිසෙන පළමු අවස්ථාව වන්නේ මෙයයි.
චිත්‍රපටයේ කැමරා අධ්‍යක්ෂකවරයා ලෙස කටයුතු කරන්නේ 28, ද නිවුස්පේපර්, කාල, පියවි, යාය 4 වැනි මෙරට ජනප්‍රිය නිර්මාණ රැසක කැමරාව හැසිරවූ චන්දන ජයසිංහයි.

ලක්ෂිත සංකල්ප වේශ නිරූපණයෙනුත්, සරත් සේනාරත්න සහාය අධ්‍යක්ෂණයෙනුත් සම්බන්ධව තිබෙනවා. නිෂ්පාදන සැලසුම්කරණය සහ කලා අධ්‍යක්ෂණය ගයාන් මධුශංකගෙනි. ඇඳුම් නිර්මාණකරණය පසිඳු කාරියකරනගේ සහ මනෝරි සුබසිංහයි. තිලක් වනසිංහ, සහෝ චිත්‍රපටයේ නිෂ්පාදන කළමනාකාරවරයායි.
ඩිලාන් ගුණවර්ධන මෙහි සංස්කරණ ශිල්පියායි. ඔහු මීට පෙර ශෙලීනා, ඝරසර්ප සහ නිම්හිම් යන ලාංකීය චිත්‍රපටවල සංස්කරණයෙන් සම්බන්ධව තිබෙනවා.

තරුපති මුණසිංහගේ සංගීතයට ඉන්ද්‍රචාප ලියනගේ සහ උපේඛා නිර්මානි විසින් ගායනා කරනු ලබන අලංකාර ගීත කිහිපයකින් ද මෙම චිත්‍රපටය පරිපූර්ණයි. සහෝ චිත්‍රපටය නිෂ්පාදනය කරන්නේ බන්දුල ගුණවර්ධන විසිනි. සම – නිෂ්පාදනයට එච්.ඩී. ප්‍රේමසිරි සහ රවීන්ද්‍ර ගුරුගේ එක්ව තිබෙනවා. විධායක නිෂ්පාදනය ඉලේකා රුවන්පතිරණ විසිනි.

PVR, KCC, Savoy ඇතුළු දිවයින පුරා සිනමාහල් 40කට ආසන්න සංඛ්‍යාවකදී මෙම චිත්‍රපටය රස විඳීමට ඔබට දැන් හැකියි. සහෝ – Comrade තිරගත වන සිනමා ශාලාවල සම්පූර්ණ නාමාවලිය පහතින් දක්වා තිබෙනවා.

ලිඩෝ – බොරැල්ල
රිට්ස් – බොරැල්ල
PVR – කොළඹ
ලිබර්ටි – කොළඹ
CCC – කොළඹ
MC – කොළඹ
රීගල් – දෙමටගොඩ
රිකී – කොටුව
සැවෝයි ප්රිමියර් – වැල්ලවත්ත

සරසවි – අලව්ව
විජේන්ද්ර – අනුරාධපුර
වොක්ස් ලයිට් – අවිස්සාවේල්ල

ප්රින්ස් – ගාල්ල
රීගල් – ගම්පහ
ලේඛා – හෝමාගම
දුල්මිනි – හොරණ
විස්ටා ලයිට් – ජාඇල
නිකාඩෝ – කඩවත
ඩොන්ස් ප්ලාසා – කලුතර
ප්රිස්කා – කලුතර

KCC – නුවර
මිලානෝ – කෑගල්ල
EDC – කැකිරාව
හිමාලි – කිරිබත්ගොඩ
CK – කිරිඳිවැල
NIT – කුරුණෑගල
ඇමිටි ලයිට් – මහරගම
ස්කයි – මාළඹේ
ස්කයි ලයිට් – මාතර

මැක්ස් ලයිට් – මොරටුව
එමීස් – මොරටුව
රෝයල් – මීගමුව
NIT – රත්නපුර
NIT – යටියන්තොට
රුහුණු – තංගල්ල
වින්ස් – වාද්දුව

Share

664 Views 5 On 1 Rating Rate it

Written by Kavinu Weerakkody


  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.