හොලිවුඩය සමඟින් යාවෙන කොරියානු සිනමාව

Avatar Kavinu Weerakkody | July 13, 2022 99 Views 0 Likes 5 On 1 Rating

99 Views 5 On 1 Rating Rate it

2020 වසරේ පැවැති 92වන ඇකඩමි සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටතම චිත්‍රපටය ඇතුළු සම්මාන හතරක් දිනා ගනිමින්, ලෝකයේම අවධානයට පාත්‍ර වුනු Parasite චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයා වන Bon Joon – Hoගේ නවතම සිනමා නිර්මාණය ගැන වැඩිදුර විස්තර රාශියක් මේ වනවිට මාධ්‍යයට අණාවරණය වී තිබෙනවා. දකුණු කොරියානු ජාතිකයෙකු වන Bong Joon – Ho විසින් 2019 වර්ෂයේදී අධ්‍යක්ෂණය කළ Parasite සිනමාපටය ඇමරිකාව හා යුරෝපීය කලාප තුළ දැවැන්ත රසික ආකර්ෂණයක් දිනා ගත්තේ කිසිවෙකුත් නොසිතූ ආකාරයටයි.
අවසානයේදී ලෝ පුරා ප්‍රධාන ධාරාවේ සම්මාන උත්සවයන් ගණනාවකදී ජයග්‍රහණ රැසක් දිනා ගත් මෙම නිර්මාණය, Academy සම්මාන ඉතිහාසයේ “Best Picture” සම්මානය දිනා ගැනීමට සමත් වූ පළමු non – English චිත්‍රපටය ද වනවා.

Parasite චිත්‍රපටය ලොව පුරා ජනප්‍රිය වීමත් සමඟ, එහි අධ්‍යක්ෂකවරයා වන Bong Joon – Ho පිළබඳවත් විශාල රසික කතාබහක් නිර්මාණය වුනා. හොලිවුඩයේ දැවැන්ත නිෂ්පාදන ආයතන කිහිපයක්ම ඔහු සමඟින් ගිවිසුම්ගත වන්නට කැමැත්තෙන් සිටින බවටත් එකල මාධ්‍ය වාර්තා කළා. ඒ නිසාම, Bong Joon – Hooගේ මීළඟ චිත්‍රපටය ඉංග්‍රීසි භාෂාමය නිර්මාණයක් වන්නට වැඩි ඉඩක් පවතින බවටයි සිනමා විචාරකයින් පවා පවසා සිටියේ…
එම චිත්‍රපටය ගැන පළමු නිල නිවේදනය පසුගිය ජනවාරි මාසයේදී මාධ්‍යයට නිකුත් වූ අතර සිතූ පරිදිම, මෙවර සිය ප්‍රධාන චරිතය සඳහා ජනප්‍රිය හොලිවුඩ් රංගන ශිල්පියෙකු සමඟින් ඔහු ගිවිසුම්ගත වී තිබුනා.

එහිදී රසිකයින්ට දැන ගන්නට ලැබුනේ Bong Joon – Ho විසින් සිය නවතම චිත්‍රපටයේ ප්‍රධාන චරිතය සඳහා තෝරාගෙන තිබුනේ වෙන කිසිවෙකුත් නොව, Robert Pattinson බවයි.
Vanity Fair (2004) හරහා සිනමාවට පිවිසි Robert Pattinson හොලිවුඩයේ අයිකොනික් ප්‍රේමවන්තයෙකු බවට පත් වූයේ Twilight චිත්‍රපට මාලාවත් සමඟයි. එම චිත්‍රපට මාලාවේ සාර්ථකත්වය නිසා මුල්කාලීනව එකම ශානරයේ පෙම්වතාගේ චරිතවලට කොටු වූවත්, තමන්ගේ සිනමා භාවිතය කෙමෙන් කෙමෙන් වෙනස් කරගන්නට ඔහු සමත් වුනා.

The Rover, The Lighthouse, High Life, The King වැනි සිනමා නිර්මාණ හරහා Robert Pattinson නැමැති දක්ෂ චරිතාංග නලුවා මතු වන්නේ එහි ප්‍රතිඵලයක් විදිහටයි. වර්තමාන සිනමා ලෝකයේ විශිෂ්ටතම සිනමාකරුවෙකු ලෙස හැඳින්වෙන Christopher Nolan අධ්‍යක්ෂණය කළ Tenet චිත්‍රපටයේ ප්‍රධාන භූමිකාව රඟපාන්නටත් ඔහු පසුකාලීනව සමත් වුනා. එපමණක් නොවෙයි, කිසිදු සිනමා නලුවෙකුට පහසුවෙන් ලබා ගත නොහැකි Batman චරිතය පවා හොඳින් නිරූපණය කරන්නට Robert Pattinsonට හැකියාව ලැබුනේ ඔහුගේ මෙම චරිතාංග දක්ෂාතවය නිසාවෙන්මයි.

Robert Pattinson සහ Bong Joon – Ho සුසංයෝගයට අමතරව මෙහි රංගනයෙන් දායක වන තවත් නලුවෙකු ගැන විස්තර මේ වනවිට අන්තර්ජාලයේ සඳහන් වනවා. පිළිගත් මූලාශ්‍රවලට අනුව මෙම චිත්‍රපටයට එසේ රංගනයෙන් සම්බන්ධ වීමට අවස්ථාව හිමිව තිබෙන්නේ Steven Yeun හටයි. එකිනෙකට වෙනස් තිර පිටපත් තෝරා ගනිමින්, විවිධාකාර චරිත හරහා ප්‍රේක්ෂකයාට සමීප වෙන්නට උත්සාහ දරන රංගන ශිල්පියෙකු ලෙසයි Steven Yeunව බොහෝ දෙනෙකු හඳුන්වන්නේ. 2009 සිටම ක්ෂේත්‍රයේ දක්නට ලැබුණත් ඔහු මෙතෙක් සම්බන්ධ වී තිබෙන්නේ බොහොම අඩු නිර්මාණ ප්‍රමාණයකටයි.
Minari (2020) චිත්‍රපටයත් සමඟ Stevenගේ රංගනය කොරියානු ප්‍රේක්ෂකාගාරයෙන් පිටත යුරෝපීය කලාපවල පවා ප්‍රසිද්ධියට පත් වුනු අතර “හොඳම විදෙස් චිත්‍රපටය”ට හිමි Golden Globe සම්මානය පවා එය ජයග්‍රහණය කළා.

එමෙන්ම, Bong Joon – Ho අධ්‍යක්ෂණය කරනු ලබන සිනමාපටයකට Steven Yeun රංගනයෙන් එක් වන පළමු අවස්ථාව ද මෙය නොවෙයි. මින් පෙර ඔහු අධ්‍යක්ෂණය කළ Okja දකුණු කොරියානු චිත්‍රපටයටත් Steven Yeun රංගනයෙන් සම්බන්ධ වූවා. ජාන තාක්ෂණය මඟින් කෘත්‍රිමව බිහි කරන සත්ව විශේෂයක් වටා ගෙතෙන Okja සිනමාපටය කාන් (cannes film festivel) උළෙලට පවා නිර්දේශ වූ විශිෂ්ට නිර්මාණයක්. 2017 වසරේදී Netflix හරහා Direct OTT මාධ්‍යයෙනුයි මෙම සිනමා නිර්මාණය නිකුත් වූයේ.
Robert සහ Yeun දෙදෙනාට අමතරව හොලිවුඩයේ තවත් ජනප්‍රිය රංගන ශිල්පීන් කිහිප දෙනෙකුගේම නම් මෙම ව්‍යාපෘතිය සම්බන්ධව ඈඳී තිබුණත් නිෂ්පාදක පාර්ශවයෙන් ඒ ගැන නිල වශයෙන් තහවුරු වී නැහැ. Mark Ruffalo, Toni Collette හා Naomi Ackie ආදී නලු නිළියන් කිහිප දෙනෙකුම ඒ ආකාරයට මෙම චිත්‍රපටයේ රංගන දායකත්වය ලබා දීමට සූදානම් යැයි තොරතුරු පළ වනවා.

හොලිවුඩ් මාධ්‍ය වාර්තා කරන අන්දමට මේ චිත්‍රපටයට පාදක වී තිබෙන්නේ Mickey7 නැමැති ප්‍රබන්ධ කතාවයි. Edward Ashton විසින් රචනා කර තිබෙන Mickey7 කෘතිය මෙම වර්ෂය මුල භාගයේදී වෙළඳපළට නිකුත් වූ විද්‍යා – ප්‍රබන්ධ ගණයට අයත් වන කෘතියක්. නමුත් මෙම සිනමාපටයේ නිෂ්පාදන කටයුතු ආරම්භ වුනේ එම කෘතිය වෙළඳපළට නිකුත් වීමටත් ප්‍රථමයි.
Mickey7 කතා සාරංශය ගැන තහවුරු කරගත් තොරතුරු තිබෙන්නේ බොහොම අල්ප ප්‍රමාණයක් වුවත්, මෙය Nifheim නැමැති ලෝකයකට පිටත් කර හරින මනුෂ්‍ය සේවකයෙකු වටා ගෙතෙන්නක් බවයි දැනගන්නට ලැබෙන්නේ. Mickey7 නවකතාව ඇසුරෙන් නිර්මාණය වන මේ සිනමාපටයට පාදක වෙන්නේ කිසිවෙකුගේ සම්බන්ධතාවයකින් තොරව ඔහු ඉන් මිදී පැනගන්නට දරන උත්සාහය බවත් පැවසෙනවා.

2019 වසරේදී Parasite චිත්‍රපටය අධ්‍යක්ෂණය කරමින් අතිශය ජනප්‍රියත්වයට පත් වූ Bon Joon – Ho අධ්‍යක්ෂකවරයෙක්ට අමතරව නිෂ්පාදකයෙකු සහ තිර පිටපත් රචකයෙකුද වනවා. Baeksaekin, Memories in My Frame, Incoherence වැනි කෙටි චිත්‍රපට නිපදවමින් සිනමාකරණයට පිවිසි ඔහුගේ පළමු වෘතාන්ත චිත්‍රපටය වන්නේ Barking Dogs Never Bite (2010) යි. ඉන්පසුව Memories of Murder, The Host, Mother වැනි දකුණු කොරියානු නිර්මාණ කිහිපයක්ම ඔහු විසින් අධ්‍යක්ෂණය කළා. Chris Evans ප්‍රධාන චරිතය රඟපෑ Snowpiercer (2013) චිත්‍රපටය ඔහුගේ සිනමා ජීවිතයේ ප්‍රධානම සංදිස්ථානයක්. නමුත් ඒ නිර්මාණ සියල්ලම අභිබවමින් Parasite (2019) තුළින් ගෝලීය අවධානයක් දිනාගත් නිර්මාණකරුවෙකු බවට පත් වෙන්නට Bon Joon – Hoට හැකියාව ලැබුනා.

Warner Bros. ආයතනය තුළින් නිර්මාණය වන Bon Joon – Hoගේ මෙම නවතම චිත්‍රපටයට තවමත් නිශ්චිත නමක් යෝජනා වී නැහැ. Warner Bros කියන්නේ සිනමා ලෝකයේ දැවැන්තම sci – fi චිත්‍රපට නිෂ්පාදනය කළ ඉහළම තාක්ෂණය පිරි පැරණිතම සිනමා සමාගමක්. එනිසා ඔවුන්ගේ මැදිහත්වීම නිසා මේ සිනමාපටයේ ගුණාත්මකබව තවදුරටත් වැඩි වෙන්නට හැකියාව තිබෙනවා.
Deadline වෙබ් අඩවිය වාර්තා කරන අන්දමට මෙහි ප්‍රධාන නිෂ්පාදකවරයා වශයෙන් කටයුතු කරන්නේ ද අධ්‍යක්ෂක Bong Joon – Ho විසිනි. ඔහුගේ Offscreen සිනමා නිෂ්පාදන ආයතනයට අමතරව Dooho Choiගේ Kate Street Picture Company සහ Plan B සිනමා සමාගම් ද්විත්වයත් මෙහි7නිෂ්පාදන දායකත්වය ලබා දෙනවා.

Share

99 Views 5 On 1 Rating Rate it

Written by Kavinu Weerakkody


  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.