සුපර්ණා, බංග්ලාදේශයෙන් ලෝක සංචාරය අරඹයි
ඈ නමින් සුපර්ණා. පෙනුමෙන් අසාමාන්‍ය ගැහැණියක්. ඇගේ හිසකෙස් නැහැ. ඒ වගේම හැසිරීම් අසාමාන්‍යයි. ඇය පාවිච්චි කරන්නෙත් අමුතු වාහනයක්. මුලින්ම අපට ඇය හමුවෙන්නේ හැඩි දැඩි පිරිමියකුට පහරදෙන අවස්ථාවකදී. මේ සියල්ල සලකා බැලුවහම සුපර්ණා කියන්නේ වෙනස් ජීවියෙක් බව අපට වැටහීමක් ලැබෙනවා. සුපර්ණාට ඉන්නවා අපුරු යාළුවො දෙන්නෙක්. මේ තුන්දෙනා තමන් ජිවත් වන ගමට, පරිසරයට, ගහකොළට ආදරය කරන, ඒවා ආරක්ෂා කරගන්න දිවි හිමියෙන් කැපවන චරිත තුනක්. ගමේ වැව සහ පරිසරය විනාශ කරලා ජාන සොරාගන්න ආව බහුජාතික සමාගමක් එක්ක හැප්පෙන්න මේ තුන්දෙනා තීරණය කරනවා. ඒ ගැටුම අතරවරයෙයි අපට සුපර්ණා ගැන තේරුම් ගන්න සිදුවන්නේ.
මේ සුජීව ප්‍රියාල් යද්දෙහිගේ අධ්‍යක්ෂණය කළ අලුත්ම චිත්‍රපටය. නාට්‍යවේදියෙක් වගේම නළුවෙකු ලෙසත් ක්ෂේත්‍රයේ නමක් දිනාගත් සුජීව සිනමාවට එන්නේ සුපර්ණා එක්කයි. චිත්‍රපටයට නිෂ්පාදනයෙන් දායක වන්නේ කල්‍යාණි රණවක. සුපර්ණා නම්වූ ඒ අපූරු ගැහැණිය තිරයේ ජීවමාන කරන්නේ ප්‍රවීන දක්ෂ රංගන ශිල්පිනියක වන දුලීකා මාරපන විසින්. අශාන් ඩයස්, කලණ ගුණසේකර, දිනක්ෂි ප්‍රියසාද්, ජනක ප්‍රේමලාල්, හයිසින්ත් විජේරත්න, විශ්ව ලංකා ඇතුළු පිරිසක් මේ කටයුත්තට පාත්‍ර වර්ගයා ලෙස දායක වනවා. චිත්‍රපටය පුරාම කතා කෙරෙන්නේ පරිසරය එක්ක තියෙන මානුෂිය බැඳීමේ විවිධ ස්වරූප ගැන.
“සුපර්ණා” ජාත්‍යන්තර සිනමා උළෙල නියෝජනය කරමින් ලොව වට සංචාරයට සූදානම් බව තොරතුරු වාර්තා වනවා. එහි පළමු ජාත්‍යන්තර ප්‍රදර්ශනය සිදුවන්නේ බංග්ලාදේශයේ ඩකා අන්තර්ජාතික සිනමා උළෙලේදියි. 17 වැනි ඩකා සිනමා උළෙලේ නිළ නියෝජනයක් ලෙස මේ චිත්‍රපටය ජනවාරි 17 වැනිදා සවස 3ට බංග්ලාදේශ ජාතික කෞතුකාගාරයේදී තිරගත කිරීමට නියමිතයි.
“මේක සම්පුර්ණ වෙනස්ම චිත්‍රපටයක්. මෙතෙක් අපේ සිනමාවේ කතා නොකළ මාතෘකාවක් ගැන වෙනස්ම ආකාරයෙන් කතා කෙරෙන චිත්‍රපටයක්. මේක අපේ ප්‍රේක්ෂකයින් ආදරයෙන් වැළඳගනියි කියල අපි විශ්වාස කරනවා. පරිසරයට මහපොළවට සොබාදහමට ආදරය කරන මිනිස්සුන්ට මේක ඉතාම වටිනා සිනමාපටයක් වේවි, අපි 17 වැනිදායින් පටන්ගෙන ලොව පුරා සුපර්ණා එක්ක සංචාරය කරන්න බලාපොරත්තු ව්නාවා, දැනටත් අපට ඉතා හොඳ ප්‍රතිචාර ජාත්‍යන්තරව ලැබෙමින් තියෙනවා” යැයි මේ පිළිබඳව අපවෙත අදහස් දැක්වූ දුලීකා මාරපන රංගන ශිල්පිනිය පවසා සිටියා.
Written by Nisanka Weheraduwa

