Alien සිනමාපට මාලාවේ නවතම දිගහැරුම එළඹෙන වසරේදී

Avatar Kavinu Weerakkody | December 28, 2023 113 Views 0 Likes 0 Ratings

113 Views 0 Ratings Rate it

ලෝක සිනමාව තුළ බිහිවන ඇතැම් චිත්‍රපට ලබා ගන්නා සාර්ථකත්වය මත, එම මුල් චිත්‍රපටය පදනම් කරගෙන ඒවායේ සීක්වල් (sequels) නිර්මාණ බිහිවනවා දැකගත හැකියි. පළමු චිත්‍රපටය රසික – ප්‍රේක්ෂකයින්ට හොඳ රසවින්දනයක් ලබා දීමට සමත් වෙමින්; සාර්ථක Box Office ආදායමක් ලබා ගත් බොහෝ අවස්ථාවන් හිදී අධ්‍යක්ෂකවරුන් විසින් ඉදිරියටත් එහි sequel හෝ prequel චිත්‍රපට නිෂ්පාදනය කරමින්, මුල් නිර්මාණය ඇසුරෙන් “චිත්‍රපට මාලාවන්” ගොඩ නඟනවා.

ලෝක සිනමා ඉතිහාසය තුළ මෙවැනි ප්‍රසිද්ධ චිත්‍රපට මාලා රැසක් දැකගන්නට හැකි වුවත්, දශක පහක්; නැතහොත් වසර 50ක් පුරාවට නිර්මාණය වෙමින් තිබෙන චිත්‍රපට මාලා නම් එතරම් දැකගන්නට ලැබෙන්නේ නැහැ.

“Alien” චිත්‍රපට මාලාවත් මේ ආකාරයෙන් දීර්ඝ කාලයක් තිස්සේ නිර්මාණ කටයුතු සිදුවෙමින් තිබෙන, විවිධ සීක්වල් සිනමාපට රාශියක් තිරගත වුනු ලෝක ප්‍රසිද්ධ චිත්‍රපට මාලාවක්. “Alien” චිත්‍රපට මාලාව ආරම්භ වුනේ මීට 45ක් වැනි දීර්ඝ කාලයකට පෙර, 1979 වර්ෂයේදී යි. Ridley Scott විසින් අධ්‍යක්ෂණය කළ පළමු Alien චිත්‍රපටයට හොලිවුඩයෙන් ලැබුනු විශාල ප්‍රතිචාරයත් සමඟ Alien 02 නමින් තවත් චිත්‍රපටයක් නිෂ්පාදනය කරන්නට ඔහු සූදානම් වුවත්, යම් යම් හේතු නිසා එහි නිර්මාණ කටයුතු සිදු වුනේ නැහැ.

ඊට ප්‍රධානම හේතුව ලෙසින් පැවසෙන්නේ සිය දෙවන චිත්‍රපටය වෙනුවෙන් Ridley Scottට තිබුනු අදහස සිනමාවට නැඟීමට තරම් එකල තිබුනු තාක්ෂණය දියුණු නොවූ බවයි. එම නිසා ඔහු සිය අදහස අත්හැර ගත්ත ද, ඊට වසර 10කට පසුව 1986 වසරේදී මෙම සිනමාපට මාලාව යළිත් ආරම්භ වන්නේ James Cameronගේ අධ්‍යක්ෂණය යටතේ යි. 1986දී මෙහි දෙවන දිගහැරුම “Aliens” නමින් තිරගත වන අතර මුල් චිත්‍රපටය මෙන්ම සුපුරුදු – ධනාත්මක ප්‍රතිචාර රැසක් ඊට හිමිවුනා.

එයින් අනතුරුව,
1992 වසරේදී David Fincherගේ අධ්‍යක්ෂණය යටතේ “Alien 3”…
1997 වසරේදී Jean – Pierre Jeunetගේ අධ්‍යක්ෂණය යටතේ “Alien Resurrection”…
2004 වසරේදී Paul Andersonගේ අධ්‍යක්ෂණය යටතේ “Alien Vs Predator”…
2007 වසරේදී Greg Strauseගේ අධ්‍යක්ෂණය යටතේ “Aliens Vs Predator: Requiem”…
නමින් තවත් නිර්මාණ රැසක් මෙම චිත්‍රපට මාලාවට එකතු වුනා.

1979දී පළමු Alien චිත්‍රපටය අධ්‍යක්ෂණය කළ Ridley Scott නැවතත් මෙම සිනමාපට මාලාවට සම්බන්ධ වන්නේ 2012 වසරේදී යි. 2012දී Prometheus සහ 2017දී Alien: Covenant යනුවෙන් චිත්‍රපට දෙකක් අධ්‍යක්ෂණයට ඔහු එකතු වුනු අතර ඒවා මුල් චිත්‍රපටයේ පසුබිම් කාලයට පෙර කාල වකවානුවක් ගැන කියැවෙන ප්‍රීක්වල් සිනමාපටයි.

ඒ අනුව 1979 සිට මේ දක්වා “Alien” චිත්‍රපට මාලාවට අදාළව නිෂ්පාදනය වුනු සියලුම නිර්මාණ සංඛ්‍යාව 08ක්! වසර 45ක් පුරාවට විවිධ අධ්‍යක්ෂකවරුන් යටතේ බිහිවුනු මෙම චිත්‍රපට 08ම ලෝ පුරා රසිකයින් අතරෙ හි ඉමහත් ජනප්‍රියත්වයට පත් වුනු අතර මෙතෙක් ලෝක සිනමා ඉතිහාසයෙන් බිහිවුනු සාර්ථකම චිත්‍රපට මාලාවක් ලෙසින් මෙය හඳුන්වන්නටත් එය පාදක වී තිබෙනවා.

Alien: Covenant නමින් 2017දී තිරගත වුනු අටවන ඒලියන් චිත්‍රපටයෙන් පසු යළි නවවන වතාවටත්, මෙහි තවත් දිගහැරුමක වැඩ කටයුතු පටන් ගත් බවට මුල්ම වරට අණාවරණය වුනේ පසුගිය වසරේදී යි. නමුත් මෙම නමවන Alien චිත්‍රපටය මුල් කතාමාලාවට සම්බන්ධයක් නොමැති standalone චිත්‍රපටයක් ලෙසිනුයි නිර්මාණය වන්නේ… Alien සිනමා විශ්වයට අයත් වුවත්, මෙම නවතම චිත්‍රපටයට මුල් පසුබිම් කතාව අදාළ වන්නේ නැහැ.

චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ Evil Dead සහ The Girl in the Spider’s Web අධ්‍යක්ෂණය කළ Fede Alvarez විසිනුයි. නමුත් ඔහු වැඩියෙන්ම ලෝ පුරා ප්‍රසිද්ධියට පත් වුනේ Don’t Breathe චිත්‍රපටයත් සමඟයි. Fede Alvarez අධ්‍යක්ෂණය කළ Don’t Breathe සිනමාපටය ඇමරිකානු ඩොලර් මිලියන 9ක නිෂ්පාදන පිරිවැයකට එරෙහිව ඩොලර් මිලියන 160ක ආදායමක් රැස් කරගත් අතර 2021 වර්ෂයේදී එහි දෙවන දිගහැරුමකුත් නිකුත් වුනා.
Fede Alvarezගේ Don’t Breathe සිනමාපටය “සීරුවෙන්” නමින් සිංහල සිනමාවටත් නැඟුනා. ජැක්සන් ඇන්තනි ප්‍රධානි චරිත නිරූපණය කරන එය නුදුරේදීම තිරගත වීමට නියමිතයි.

මෙම නවතම ඒලියන් චිත්‍රපටයේ ප්‍රධාන චරිතය නිරූපණය කරන්නේ Cailee Spaeny විසිනි. Emmy සම්මානය දිනූ “Mare of Easttown” නැමැති HBO කතාමාලාවෙන් ප්‍රේක්ෂක අවධානය දිනාගත් ඇය Pacific Rim Uprising – Pricilla – Vice වැනි චිත්‍රපටවල ද රංගනයෙන් දායක වුනා.

ඊට අමතරව Isabela Merced, David Jonsson, Archie Renaux, Spike Fearn සහ Aileen Wu වැනි ජනප්‍රිය හොලිවුඩ් නලු නිළියන් පිරිසක් මේ හා එක්ව තිබෙනවා. මොවුන් නිරූපණය කරන චරිත කෙබඳුද යන්න ගැන කිසිදු තොරතුරක් වාර්තා වී නැතත් මෙහි Cailee Spaeny විසින් රඟ දක්වන ප්‍රධාන චරිතය, මුල් ඒලියන් සිනමාපටවල Sigourney Weaverගේ චරිතයට සමාන බව පැවසෙනවා.

නිෂ්පාදකයින් බලාපොරොත්තු වන්නේ 2024 අගෝස්තු 24 වනදා සිට චිත්‍රපටය ලෝ පුරා තිරගත කිරීමටයි. පසුගිය මාර්තු මාසයේදී මෙහි රූගත කිරීම් ඇරඹුනු අතර එතැන් සිට ජූලි මුල වනතෙක්ම එකදිගට රූගත කිරීම් සිදුවුනා. මේ වනවිට චිත්‍රපටයේ පසු – නිෂ්පාදන කටයුතු අවසන් අදියරේ පවතින අතර එළඹෙන දෙසැම්බර් මාසයේදී මෙහි පළමු ටීසර්පටය අන්තර්ජාලයට මුදා හැරීමට නියමිතයි.

09වන චිත්‍රපටය පාදක වී තිබෙන කතාව ගැන දැනගන්නට ලැබෙන්නේ නැතත්, මුල් නිර්මාණ මේනම මෙයත් මිනීමරු පිටසක්වළ ජීවින් සමූහයකට එරෙහිව සටන් වදින ආයුධ සන්නද්ධ මනුෂ්‍ය කණ්ඩායමක් වටා ගෙතෙනවා විය හැකියි.
නමුත් මෙම චිත්‍රපටයේ චරිත සඳහා තෝරාගෙන තිබෙන නලු නිලියන් බොහෝ දෙනෙකු තරුණ වියේ පසුවන පුද්ගලයින් නිසා, රළු slasher දර්ශන අඩංගු teenage ශානරයේ surviving චිත්‍රපටයකුත් මෙතුළින් අපට බලාගත හැකි වේවි.

Greg Strauseගේ අධ්‍යක්ෂණය යටතේ 2017දී නිකුත් වුනු Aliens Vs Predator: Requiem සිනමාපටයෙන් පසුව ඒලියන් චිත්‍රපට මාලාව නැවතත් නිෂ්පාදනය නොකරන බවට තීරණයක් ගෙන තිබුනත්, එය වෙනස් වන්නේ Walt Disney ආයතනය විසින් ඒලියන් හිමිකාරීත්වය දරන 21st Century Fox හි කොටසක් මිලට ගැනීමත් සමඟයි. මෙම 09වන දිගහැරුමෙහි වැඩ කටයුතු ආරම්භ වන්නේ නව හිමිකාරීත්වය යටතේ ඒලියන් චිත්‍රපටය නැවතත් reboot කරන්නට ඔවුන් තීරණය කළ පසුවයි.

මුලදී සැලසුම් කළ පරිදි මෙය සිනමා ශාලා ප්‍රදර්ශනයට වෙන්වුනු චිත්‍රපටයක් නොවෙයි. Predator චිත්‍රපට මාලාවේ prequel නිර්මාණයක් ලෙසින් මෑතකදී නිකුත් වුනු “Prey” සිනමාපටය වගේම මෙයත්, Hulu නැමැති ott ප්ලැට්ෆෝමය ඔස්සේ අන්තර්ජාලයට නිකුත් කිරීමට තිබුනු නිර්මාණයක්. නමුත් චිත්‍රපටය සිතුවාට වඩා දැවැන්ත වීමත් සමඟ, 2024 අගෝස්තු 24 වනදා සිට මෙය සිනමා ශාලා ප්‍රදර්ශනය සඳහාත් ඉදිරිපත් කරන්නට අධ්‍යක්ෂකවරයා විසින් තීරණය කරනවා.

Share

113 Views 0 Ratings Rate it

Written by Kavinu Weerakkody


  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.