Hotel Transylvania වෙනුවෙන් ඩොලර් මිලියන 100ක ගිවිසුමක්..?

Avatar Nisanka Weheraduwa | September 1, 2021 35 Views 0 Likes 0 Ratings

35 Views 0 Ratings Rate it

මනුෂ්‍ය තරුණයෙක්, රාක්ෂ තරුණියක හා පෙමින් බැඳෙන කතාවක් මුල් කරගෙන 2012 වසරෙදි ලෝ පුරා තිරගත වුණු Hotel Transylvania ඇනිමේෂන් චිත්‍රපටය ඔබ හැමෝම නරඹා ඇති. ඩ්‍රැකියුලාගේ දුව, මේවිස් සහ ජොනතන්ගේ මේ ආදර කතාවට මුලින් මුලින් ඩ්‍රැකියුලාගෙන් බාධා එල්ල වුණත් අවසානයේ ජොනතන් ආදරය ජයගන්න සමත් වනවා. ලෝ පුරාම අතිශය ජනප්‍රියත්වයට පත් වුණු මේ අපූරු චිත්‍රපටියේ සාර්ථකත්වය නිසාම එහි නිෂ්පාදකයින් විසින් Hotel Transylvania කතා මාලාවට සීක්වල් නිර්මාණ කිහිපයක්ම නිර්මාණය කළා. ඒ නිසාම මේ චිත්‍රපට මාලාව ලෝ පුරා තවත් ජනප්‍රිය වුනා. බාල, මහලු බේදයකින් තොරව සියලුම රසිකයින් Hotel Transylvania චිත්‍රපට මාලාවට ආදරය කරන්න ගත්තා.

2018දී තිරගත වූ Hotel Transylvania 03: Summer Vacation සීක්වල් චිත්‍රපටය තමයි Hotel Transylvania සිනමාපට මාලාවේ අපිට දැකගන්න ලැබුණු අවසානම නිර්මාණය වුණේ. එහි සාර්ථකත්වය සමඟ නිෂ්පාදකයින් විසින් සුපුරුදු පරිදි තවත් සීක්වල් චිත්‍රපටයක් ගැන නිවේදනය කළා වගේම Hotel Transylvania 04: Transformania යන නමින් එහි වැඩ කටයුතුත් පටන් ගත්තා. මුලදී, පළමු චිත්‍රපට ත්‍රිත්වය වගේම මෙයත් සිනමාශාලා ප්‍රදර්ශනයට සූදානම් කරලා තිබුණත් ලෝකයටම බලපෑ කෝවිඩ් වසංගතය නිසා ඔවුන්ගේ සැලසුම්වල යම් වෙනස්වීම් කිහිපයක් සිදු වී තිබෙන බව පැවසෙනවා. මුල සැලසුම්වලට අනුව Hotel Transylvania 04වෙනි චිත්‍රපටයේ සිනමාශාලා ප්‍රදර්ශනය ඇරඹෙන්න තිබුණේ මෙම ඔක්තෝබර් 01වෙනිදා. නමුත්, කෝවිඩ් බලපෑමත් සමඟ 2021 දෙසැම්බර් 22 වෙනකන් release date එක කල් දමන්නට ඔවුන්ට සිදු වුනා. දැන්, Hotel Transylvania 04: Transformania චිත්‍රපටයේ සිනමා ශාලා ප්‍රදර්ශනය මඟ හරිමින් OTT platform එකක් තුළින් Direct Web Release එකක් ‘විදිහට නිකුත් කරන්න සැළසුම් කර තිබෙන බව සඳහන් වනවා.

පහුගිය දිනෙක මේ Hotel Transylvania චිත්‍රපටයේ බෙදාහැරීම වෙනුවෙන් යම් ගිවිසුම් ගත වීමක් සිදු වී තිබෙන බවට වාර්තා වුනා. ලැබෙන ආරංචිවල හැටියට චීනය හැර සෙසු රටවල් සඳහා Amazon Prime ඔස්සේ Hotel Transylvania 04: Transformania සිනමාපටය direct OTT release එකක් විදිහට බෙදාහැරීමට ඇමරිකානු ඩොලර් මිලියන 100ක ගිවිසුමක් අත්සන් කොට තිබෙනවා. Genndy Tartakovskyගේ තිර පිටපතකට අනුව Transylvania 04: Transformania සිනමාපටය අධ්‍යක්ෂණය කරන්නේ Jennifer Kluska සමඟින් Derek Drymon විසින්. සංගීත අධ්‍යක්ෂණයෙන් Mark Mothersbaugh වගේම නිෂ්පාදනයෙන් Alice Deweyත් මීට එකතු වී සිටිනවා. නිෂ්පාදන පිරිවැය විදිහට ඇමරිකානු ඩොලර් මිලියන 70-90 අතර මුදලක් වැය වී තිබෙන බවත් සඳහන්!

Hotel Transylvania කියන්නේ සිනමා ඉතිහාසයේ බිහි වුණු දැවැන්තම ඇනිමේෂන් කතා මාලාවක් වගේම තමයි, ඇමරිකානු ඩොලර් බිලියන 1.3කට ආසන්න මුදලක් උපයන්න සමත් වුණු අතිශය-සාර්ථක චිත්‍රපටි එකතුවක්. ඉතින් ඒ වගේ චිත්‍රපට මාලාවක අලුත්ම දිග හැරුම වෙනුවෙන් රසිකයින් අතරේ තිබෙන උනන්දුව අතිවිශාලයි. විශේෂයෙන්ම, ලොවක් ආදරය කළ Hotel Transylvania චිත්‍රපට මාලාවේ අවසන් නිර්මාණය මෙය වීමත් ඊට බලපෑ තවත් කාරණයක්. මෙනිසා වැඩි දිනක් යන්න කලින්ම, Hotel Transylvania චිත්‍රපට මාලාවේ අවසාන සිනමාපටය Amazon Prime ඔස්සේ නරඹන්නට අපිට හැකියාවක් ලැබේවි. ජොනතන්, මේවිස්, ඩ්‍රැකියුලා, ග්‍රිෆින්ලගේ සුන්දර ලෝකයට යන්නට නැවත වතාවක් අපිට අවස්ථාවක් උදා වේවි.

Share

35 Views 0 Ratings Rate it

Written by Nisanka Weheraduwa


  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.