Lockdown කාලයේ Lockdown වූ ආදර කතාවක් – ආලේ කොරෝනා

Avatar Nisanka Weheraduwa | January 11, 2021 1192 Views 0 Likes 4.5 On 2 Ratings

1192 Views 4.5 On 2 Ratings Rate it

 

කොරෝනා වසංගතය මෙරටට පැමිණීමත් එක්කම අපි හැමෝටම මුහුණ දෙන්න සිදුවුනේ අනපේක්ෂිත සිදුවීම් දාමයකට. මාස තුනකට ආසන්න කාලයක් ඇඳිරි නීතිය පැනවීමෙන් පස්සේ සියළු දෛනික කටයුතු වලින් වැළකිලා නිවෙසටම වෙලා කාලය ගත කරන්න අපි හැමෝටම සිදුවුනා. ඒක එක්තරා විදිහක සිරවීමක් බවට පත්වුනා.

මේ තත්වයට එකිනෙකා මුහුණ දුන්නේ වෙනස් ආකාර වලට. කෙනෙකුට මේ කාලය අලුතින් දේවල් ආරම්භ කරන්න අවස්තාවක් වුනා වගේම බහුතරයකට මේක පීඩාවක් බවට පත්වුණා. මානසික ආතතියට පවා ලක්වන්නට සමහරුන්ට සිදුවුනා. මේ සිදුවීම් ජාලය අතරතුර ගෘහස්ත ජීවිතයක් ගෙවෙන අකාරය ගැන කියවෙන චිත්‍රපටයක් නිර්මාණය වී තිබෙනවා. චිත්‍රපටයේ නම “ආලේ කොරෝනා”. වසංගතේ අසම්මතේ යුවලක් ගෙවූ දින 46ක කතාවක් කියල තමයි මේ චිත්‍රපටයට තේමා පාඨය යොදාගෙන තිබෙන්නේ.

සුජාන් කියන්නේ ව්‍යාපාරයක් කරන්න හිතාගෙන ගමෙන් කොළඹ ආව තරුණයෙක්. නමුත් ව්‍යාපාරික සගයාගේ රැවටීමෙන් ඔහුට විශාල මුදලක් අහිමි වනවා. බිරිඳත් දරුවාත් ගමේ ජීවත් වන අතරතුර සුජාන් ටෙක්ලා නමැති සුරූපී තරුණිය සමග ප්‍රේමයෙන් බැඳෙනවා. ඇඳිරි නීතිය පැනවීමත් සමග ගමට යාගැනීමට නොහැකි වන සුජාන් අවසානයේ ටෙක්ලාගේ නවාතැනේ නැවතීමට පැමිණෙනවා. ටෙක්ලා සුජාන්ගේ පෙම්වතිය පමණක්මද..? මේ දෙදෙනාගේ ජීවිතය කුඩා නවාතැනක් තුළ ගතවන්නේ කොහොමද..? ටෙක්ලාට නිතර දුරකථන ඇමතුම් ලබාදෙන “අප්පච්චි” කවුද..? මේ සියළු කාරණා වලට පිළිතුරු චිත්‍රපටයේදී ඔබට හමුවේවි. ආදරය, විවාහය, මිනිස් සම්බන්ධතා වල සත්‍ය ස්වරූපය වැනි කාරනා ගැන නැවත වරක් ගැඹුරින් සිතන්න මග පාදා දීමක් මේ චිත්‍රපටය හරහා සිදුවන බව චිත්‍රපටයේ මංගල දර්ශනය නැරඹු බොහෝ දෙනෙක් පවසා තිබුනා.

යූ.ඒ.පල්ලියගුරු මේ චිත්‍රපටයේ තිර රචනය සිදුකළා වගේම චිත්‍රපටය නිෂ්පාදනයෙනුත් දායක වනවා. සංජය නිර්මාල් අධ්‍යක්ෂණ කළ “ආලේ කොරෝනා” චිත්‍රපටයේ සුජාන් ලෙස ජෙහාන් අප්පුහාමිත්, ටෙක්ලා ලෙස ඩිස්නි රාජපක්ෂත්, ආන්ටි ලෙස දීපානි සිල්වාත්, සෞඛ්‍ය පරීක්ෂක ලෙස වසන්ත විට්ටච්චිත්, බුද්ධික ජයරත්නත් රංගනයෙන් දායක වනවා. සංස්කරණය සහ වර්ණ සංයෝජනය ඉන්දික සුරවීරගෙන්. ශබ්ද සැළසුම්කරණය නිරෝධ විරංගගෙන්. ශනිල්ක වැලිවිටවිතානගේ මෙහි අංග රචනා ශිල්පියා ලෙස කටයුතු කොට තිබෙනවා. කලා අධ්‍යක්ෂණයෙන් සුරංග කුරුප්පුආරච්චි සහ සහය අධ්‍යක්ෂණයෙන් මහේෂ් උයන්වත්ත දායකත්වය ලබාදී තිබෙනවා.

දැන් දිවයින පුරා සිනමාහල් වලදී ආලේ කොරෝනා චිත්‍රපටය තිරගත වනවා. නිවැරදි සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින් විනෝදාස්වාදය ලබාගැනීම වෙනුවෙනුත් ඉඩක් වෙන්කරගැනීමට අපි ඔබට ආරාධනා කරනවා. වින්දනය වගේම මිනිස් සම්බන්ධතා ගැන නැවත සිතා බැලීමට යමක් ආලේ කොරෝනා චිත්‍රපටයෙන් නිසැකවම ඔබට හමුවේවි. ඒ නිසා මේ අත්දැකීම විඳගන්නටත් ඉඩක්, වෙලාවක් වෙන්කරවා ගන්න.

Share

1192 Views 4.5 On 2 Ratings Rate it

Written by Nisanka Weheraduwa


  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.