Siren හි රූගත කිරීම් ඇරඹෙයි, ප්‍රධාන චරිතය ජයම් රවීට.
Jayam Ravi, 2000 මුල් භාගයේදී දමිළ සිනමාවේ ජනප්‍රියම ප්‍රේමවන්තයෙකු ලෙස හැඳින්වෙනවා.. නමුත් කාලයක සිට Jayam Raviගේ සිනමා ගමන මදක් අඩාළ වී ජනප්‍රියත්වයත් පහත වැටී තිබුනා. විශේෂයෙන්ම 2015න් පසු ඔහු රඟපෑ චිත්‍රපට බොහෝමයකට සාර්ථක රසික අවධානයක් දිනා ගැනීමටවත් නොහැකි වුනා. ඔහු සැමවිටම එකිනෙකට වෙනස් චරිත හරහා ප්‍රේක්ෂකයින්ට සමීප වීමට උත්හාස දැරුවත්, ප්‍රේක්ෂකයින් බලාපොරොත්තු වන මට්ටමේ ගුණාත්මකබාවයක් තිබුනේ ඉන් සිනමාපට කිහිපයක පමණයි. ඒ නිසාම, Tik Tik Tik |Miruthan | Comali වැනි චිත්‍රපට කිහිපයක් හැරුණුකොට අනෙත් සියල්ලම රසික අවධානයෙන් ගිලිහී ගියා.
කෙසේ වුවත්, Jayam Raviගේ මෙම අවාසනාවන්ත කාල පරිච්ඡේදය මෙම වසරෙන් පසු නිමා වෙතැයි තමිල්නාඩු සිනමා විචාරකයින් බොහෝ දෙනෙකු පවසනවා. ඒ මෙම සැප්තැම්බර් 30 වනදා සිට තිරගත වීමට නියමිත Ponniyin Selvan : 1 දමිළ සිනමාපටය නිසායි. මේ චිත්‍රපටයේ බලපෑම මත ජයම් රවී නැවතත් දමිළ සිනමාවේ ප්‍රබලයින් කිහිප දෙනා අතරට එකතු වනු ඇති බවටයි ඔවුන් ඉඟි පළ කරන්නේ.
ඉන්දීය සිනමාවේ විශිෂ්ටතමයෙකු වන Mani Rathnam විසින් අධ්‍යක්ෂණය කරන Ponniyin Selvan චිත්‍රපට මාලාවේ නිෂ්පාදන පිරිවැය පමණක් කෝටි 500කට අධිකයි. ජයම් රවී එහි නිරූපණය කරන්නේ ‘රාජ රාජ චෝළ’ගේ ප්‍රධාන චරිතයයි. මේ වනවිටත් එම චිත්‍රපටයට ඉන්දියාව පුරා දැවැන්ත රසික අවධානයක් ලැබී තිබෙනවා. Ponniyin Selvanට අමතරව ජයම් රවී ඉදිරියේදී රඟපෑමට නියමිත Agilan, Iraivan වැනි upcoming සිනමාපට ගැනත් සමාජ මාධ්‍ය තුළ දැන් යළි කතාබහට ලක්වෙමින් තිබෙනවා. පසුගිය වසර කිහිපයට සාපේක්ෂව මෙය Jayamගේ රසික ආකර්ෂණය ගැන ලැබෙන ධනාත්මක ඉඟියක්.
Jayam Raviගේ ප්‍රධාන රංගනයෙන් හැඩවන තවත් දමිළ සිනමාපටයක් පිළිබඳව ඔහුගේ රසිකයින්ට දැන ගන්නට ලැබෙන්නේ මේ අතරේදී යි. පසුගිය සතියේදී මෙහි මුහුරත් උළෙල පැවැත්වූ අතර නිල වශයෙන්ම චිත්‍රපටයේ වැඩ කටයුතු ආරම්භ වුනා. “Siren” යනුවෙන් නම් කොට තිබෙන මෙම සිනමාපටය අයත් වන්නේ Action | Thriller වර්ගීකරණයටයි.
සුරූපී දමිළ නිළි Keerthy Suresh චිත්‍රපටයේ ප්‍රධාන කාන්තා චරිතයට එකතු වනවා. Jayam Ravi රඟපාන භූමිකාව කුමක්ද යන්න ගැන නිසි තොරතුරක් අණාවරණය නොවුනත් කීර්ති රඟපෑමට නියමිතව තිබෙන්නේ පොලිස් නිලධාරිනියකගේ චරිතයක් බව සඳහන්. චිත්‍රපටයේ පළමු භාගය (first half) පුරාවටම ඇය සහ ජයම් රවී එකිනෙකට ප්‍රතිවීර චරිත ද්විත්වයක් රඟපාන බවකුත් සඳහන්.
බොහෝ දමිළ සිනමාපටවල උපප්‍රධාන චරිත රඟන Samuthirakani සහ Yogi Babu දෙදෙනාවත් මෙම චිත්‍රපටයෙන් දැකගත හැකියි. ඔවුන් දෙදෙනාට අමතරව තවත් ප්‍රසිද්ධ දකුණු ඉන්දියානු නිළියක වන Anupama Parameshvaran ද මෙහි වැදගත් චරිතයක් රඟපෑමට නියමිත අතර පසුගියදා පැවැත්වුනු Siren හි පූජා උත්සවයට ද ඇය සහභාගී වුනා.
Siren අධ්‍යක්ෂණය කරන්නේ Anthony Bhagyaraj විසිනුයි. ඔහුගේ පළමු චිත්‍රපට අධ්‍යක්ෂණය වුවත් ඔහු සම්බන්ධ වන පළමු වෘතාන්ත – සිනමාපටය නම් මෙය නොවේ. දමිළ සිනමාවේ දැවැන්තම රංගන ශිල්පීන් දෙදෙනෙකු වන Rajinikanth සහ Ajith Kumarගේ චිත්‍රපට ද්විත්වයකට ඔහු මින් පෙර සම්බන්ධ වී තිබෙනවා.
ඒ තිර පිටපත් සහ දෙබස් රචකයෙකු ලෙසයි.
තමිල්නාඩුවේ ජනප්‍රිය නමක් දිනාගෙන සිටින සිනමාකරුවෙකු වන Siva විසින් අධ්‍යක්ෂණය කරන ලද Vishwasam සහ Annaatte චිත්‍රපටවල දෙබස් රචනා කළේ Anthony Bhagyaraj විසිනුයි. ‘Siren’ චිත්‍රපටයේ දෙබස් සහ තිර පිටපත රචනා කරන්නේ ද ඔහුමයි. මෙය වෙනත් භාෂාමය ප්‍රතිනිර්මාණයක් නොවන බවටත්, ඇන්තනිගේ ස්වතන්ත්‍ර පිටපතකට අනුව නිර්මාණය කෙරෙන්නක් බවටත් මාධ්‍ය වාර්තා පවසනවා.
චෙන්නායි නගරය ආශ්‍රිතව රූගත කරන පළමු දර්ශන කිහිපයෙන් පසු දකුණු ඉන්දියාවේ වෙනත් ප්‍රදේශ ගණාවකම මෙහි රූගත කිරීම් සිදු කිරීමට නියමිතයි. චිත්‍රපටය තිරගත වන දිනයක් දැනුම් දී නැතත්, 2024 වසරේදී සිනමා ශාලාවලට මුදා හැරීමට ඉඩකඩ තිබෙන බවයි පැවසෙන්නේ. එළඹෙන 2023 වසරේදී Jayam Ravi රඟන තවත් චිත්‍රපට දෙකක් තිරගත වන නිසා Siren හි දින වකවානු 2024 වෙනතෙක්ම කල් යා හැකියි.
Siren හි සංගීත අධ්‍යක්ෂණය කරන්නේ පසුගිය ඉන්දියානු ජාතික සම්මාන උළෙලේදී (National Film Awards) ‘විශිෂ්ටතම සංගීත අධ්‍යක්ෂණයට’ හිමි සම්මානයෙන් පිදුම් ලැබූ GV Prakash විසිනි. Selvakumar SK කැමරා අධ්‍යක්ෂකවරයා ලෙසත්, Dhilip Subbarayan සටන් අධ්‍යක්ෂකවරයා ලෙසත් කටයුතු කරනවා.
මෙම සිනමාපටයේ පළමු පූර්ව ප්‍රචාරක පෝස්ටරය මේ වනවිට අන්තර්ජාලයට නිකුත් කොට තිබෙනවා. ජයම් රවීගේ පසුගිය චිත්‍රපටවල motion posters වලට වඩා වැඩි අවධානයක් සහ රසික ප්‍රතිචාරයක් ලබා ගැනීමට මීට හැකිවීමත් විශේෂත්වයක්.
Written by Kavinu Weerakkody