Eras Tour රැගෙන Taylor Swift ලංකාවට පැමිණෙයි

Avatar Kavinu Weerakkody | October 9, 2023 275 Views 0 Likes 0 Ratings

275 Views 0 Ratings Rate it

ඇමරිකානු ගායිකාවක වන Taylor Swiftගේ හඬින් ගැයෙන ගීත රැසක් අද ලෝ පුරාම අතිශය ජනප්‍රියයි. 21වන සියවසේ බිහිවූ සාර්ථකම ගායක ගායිකාවන්ගෙන් කෙනෙකු ලෙසට අවිවාදයෙන්ම පිළිගැනෙන Taylor Swift, මිලියන 200කට අධික සිය සංගීත පිටපත් සංඛ්‍යාවක් විකිණූ අද ලෝකයේ සිටින වැඩිම අදායම්ලාභී ගායන ශිල්පිනියක්.

වයස අවුරුදු 14 වැනි කුඩා වියේදීම ගායනයට සම්බන්ධ වන ඇය Fearless – 1989 – Evermore – Midnights වැනි ලෝ පුරාම ජනප්‍රිය ඇල්බම ගණනාවක හිමිකාරිනියයි. Taylor Swiftට මුල්කාලීනව තිබූ රසික ආකර්ෂණයට සාපේක්ෂව 2015 – 2016 වැනි කාලයෙන් පසුව ඇගේ ජනප්‍රියත්වය ඉතා වේගයෙන් වැඩි වුනු අතර ටේලර් ස්ෆිට්ගේ ප්‍රසංග සඳහා තිබුනු ඉල්ලුම ද වෙනදාටත් වඩා ඉහළ ගියා.

අද වනවිට, සජීවි ප්‍රසංග ඉතිහාසය තුළ වැඩිම සාර්ථකත්වයක් අත් කරගෙන සිටින ගායිකාව ලෙස ද ඇයව හැඳින්වූවාට වරදක් නැහැ. ඒ තරමටම ඇගේ concerts සඳහා රසිකයින් ආකර්ෂණය වී තිබෙනවා වගේම; දැඩි රසික ඉල්ලුම නිසා ඇගේ සජීවි ප්‍රසංගයක් සඳහා ටිකට්පතක් වෙන්කර ගැනීමත් දැඩි අසීරු කාර්යයක් බවට පත්ව තිබෙනවා.

තමන්ගේ concerts සඳහා ඇතිව තිබෙන අධික ඉල්ලුම නිසාම, Taylor Swift විසින් සිය ප්‍රසංග ආශ්‍රයෙන් නවතම concert movie ශානරයේ චිත්‍රපටයක් නිෂ්පාදනය කිරීමට පසුගිය කාලයේදී කටයුතු කළ අතර මේ වනවිට එහි නිෂ්පාදන කටයුතු නිමවී, ළඟදීම ලෝ පුරා සිනමාහල් වලට නිකුත් වීමට නියමිතයි. ඒ ඇගේ The Eras Tour ප්‍රසංග මාලාව ඇසුරෙන් නිෂ්පාදනය කළ “Tayor Swift: The Eras Tour” සිනමාපටයයි.

සරලවම Concert film නැතහොත් Concert movie යනුවෙන් හැඳින්වෙන්නේ යම්කිසි පුද්ගලයෙකු හෝ පුද්ගල කණ්ඩායමක් විසින් පැවැත්වූ සංගීත ප්‍රසංගයක් – ප්‍රහසන වැඩසටහනක් වැනි සජීවි වැඩසටහනක් ආශ්‍රයෙන් චිත්‍රපටයක් සිනමාවට නැගීමයි. පටිගත කළ අදාළ සජීවි වැඩසටහන එහිදී තිරයට නැඟෙන අතර සම්පූර්ණ චිත්‍රපටයම දිවෙන්නේ එම ප්‍රසංගයට අදාළ සිද්ධි පාදක කරගෙනයි.

සිනමා ඉතිහාසය තුළ මෙලෙස චිත්‍රපටයට නැඟුනු concert movies ගණනාවක්ම දැකගන්නට පුලුවන්. Justin Bieber – BTS – Miley Cyrus – One Direction වැනි ලෝකප්‍රසිද්ධ ගායක ගායිකාවන් වගේම, Kevin Hart – Chris Rock වැනි ජනප්‍රිය ප්‍රහසන ශිල්පීන් රැසකගේ concert movies මීට පෙර සිනමා ශාලාවලට නිකුත් වුනා.

නමුත් මෙවර “Tayor Swift: The Eras Tour” සිනමාපටය ඒවාට වඩා සුවිශේෂී වන්නේ, එය තිරගත වීමටත් පෙර මෙතෙක් සිනමා ඉතිහාසයේ වාර්තා කිහිපයක්ම අලුත් කිරීමට සමත් වන නිසායි. Tayor Swift වටා එක්රොක් වී සිටින ගැනිය නොහැකි තරමටම දැවැන්ත, මිලියන ගණනක් වන රසිකයින් සංඛ්‍යාව මෙන්ම, “Tayor Swift: The Eras Tour” චිත්‍රපටය වටා ද කිසිවෙකුත් නොසිතූ අන්දමේ අතිශය දැවැන්ත සිනමා රසිකයින් පිරිසක් නිර්මාණය වී තිබෙනවා.

මෙය තිරගත වීම ඇරඹෙන්නේ එළඹෙන ඔක්තෝබර් 13 වනදා සිටයි. නමුත් දැනටම මෙහි ලෝ පුරා Advance Ticket sales ප්‍රමාණය පමණක් ඇමරිකානු ඩොලර් මිලියන 100 ඉක්මවීමට සමත්ව තිබෙනවා. එය හොලිවුඩයේ ජනප්‍රිය නලු නිලියන් රංගනයෙන් එක්වන- ප්‍රධාන ශානරයේ චිත්‍රපටයක් තරමටම විශාල ආදායමක්.

එමෙන්ම “Tayor Swift: The Eras Tour” චිත්‍රපටයට තිබෙන මෙම අධික රසික ඉල්ලුමත් සමඟ, තිරගත වීමටත් පෙර ම, එය මෙතෙක් සිනමා ඉතිහාසයේ වැඩිම ආදායමක් ලැබූ concert movie ශානරයේ චිත්‍රපටය බවට පත්වී හමාරයි.

මීට පෙර එම වාර්තාවට හිමිකම් කියමින් වැඩිම ආදායමක් ලැබූ concert movie ශානරයේ චිත්‍රපටය බවට පත්ව තිබුනේ 2011 වසරේදී තිරගත වූ “Justin Bieber: Never Say Never” නැමැති නිර්මාණයයි. ලෝ පුරා සිනමා ශාලා ප්‍රදර්ශනයෙන් එය ලැබූ සමස්ත ආදායම වුනේ ඇමරිකානු ඩොලර් මිලියන 99ට ආසන්න මුදලක්.
නමුත් Tayor Swiftගේ The Eras Tour සිනමාපටය තිරගත වීමටත් පෙර, සිය advance ticket salesවලින් පමණක්ම ඩොලර් මිලියන 100 කඩයිම පසු කරමින් එය අභිබවා යෑමට සමත් වුනා.

නමුත් ඊට පෙර 2009 වසරේදී, ලෝකප්‍රසිද්ධ ගායක මයිකල් ජැක්සන්ගේ Michael Jackson’s That is it නැමැති සිනමාපටය ඇමරිකානු ඩොලර් මිලියන 260ක මුදලක් උපයූවත් එය concert movie ශානරයේ සිනමාපටයක් නොවන බවටයි බොහෝ දෙනෙකු පවසන්නේ. ඊට හේතුව වන්නේ එම චිත්‍රපටය ඔහුගේ යම් සජීවි ගායනයන් කිහිපයක් පාදක වූ documentaryයක් මිස, එක් සජීවී ප්‍රසංගයක් (concert movie) වටා නිර්මාණය වූවක් නොවන නිසාවෙනුයි.

Tayor Swiftගේ මෙම The Eras Tour සිනමාපටය මුලදී තිරගත කිරීමට සැලසුම් කර තිබුනේ ඇමරිකාව තුළ පමණක් වුවත්, රසිකයින්ගේ දැඩි ඉල්ලීම මත පසුව එය ලෝ පුරා තිරගත කරන්නට සූදානම් වුනා. ඒ අනුව දකුණු ඇමරිකාව – ඕස්ට්‍රේලියාව – ආසියාව වැනි ලෝකයේ විවිධ කලාප පුරා Tayor Swiftගේ The Eras Tour සිනමාපටය තිරගත වීමට නියමිතයි.

එළඹෙන ඔක්තෝබර් 13 වනදා සිට ලෝ පුරා රටවල් සියයකට ආසන්න ප්‍රමාණයක, සිනමාශාලා 8500කදී The Eras Tour නරඹන්නට ඔබට පුලුවන්. ශ්‍රී ලංකාව තුළ සිටින ඇගේ රසිකයින්ටත් මෙම සිනමාපටය නරඹන්නට අවස්ථාව උදා වී තිබෙන අතර මාසයක් වැනි දීර්ඝ කාලයක් පුරාවට Colombo City Centre (CCC) පරිශ්‍රයේ තිබෙන Scope Cinema සිනමා සංකීර්ණයේදී “Tayor Swift: The Eras Tour” චිත්‍රපටය තිරගත වනවා.

Scope Cinemas හි නිල වෙබ් අඩවිය ඔස්සේ ඔබට දැන් Tayor Swiftගේ The Eras Tour සිනමාපටයේ ටිකට්පත් වෙන් කරගන්නට පුලුවන්.

Share

275 Views 0 Ratings Rate it

Written by Kavinu Weerakkody


  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.