Tentigo දිවයින පුරා සිනමා හල් වලදී – රට වැටුණත් කුළුණ කෙලින්

Avatar Kavinu Weerakkody | March 17, 2025 657 Views 1 Like 1.5 On 2 Ratings

657 Views 1.5 On 2 Ratings Rate it

ඔබ ලාංකීය සිනමාවෙන් මෙතෙක් අන් නොදුටු ආකාරයේ නැවුම් සහ වෙනස්ම කතා පුවතක් රැගත්, ලෝ පුරා ජාත්‍යන්තර සිනමා උළෙල රැසකදී සම්මානයට පාත්‍ර වුනු Tentigo (නෙළුම් කුළුණ) නවතම චිත්‍රපටය දැන් දිවයින පුරා සිනමාහල් 60කට ආසන්න ප්‍රමාණයකදී අති – සාර්ථකව තිරගත වනවා.

නෙළුම් කුළුණට පාදක වී තිබෙන්නේ විවාහක පුතුන් දෙදෙනෙකු සිටින එක්තරා පවුලක කතාන්දරයකුයි. වයෝවෘදව සිටි තමන්ගේ පියා හදිසියේ මිය ගියද, මරණයෙන් පසුවත් ඔහුගේ ශරීරයේ එක් අංගයක් ප්‍රාණවත්ව තිබීම නිසා ඒ පවුලට නොසිතූ අවමානයකට මුහුණ දෙන්නට සිදුවනවා.
එලෙස ප්‍රාණවත්ව තිබෙන්නේ මිය ගිය පියාගේ ශිෂ්ණයයි.

පියාගේ වියෝව නිසා ශෝකාකූල දිනයක් වීමට නියමිතව තිබූ මෙදින, මේ අසාමාන්‍ය සිදුවීම නිසා සම්පූර්ණයෙන් කණපිට හැරී කලබලකාරී ආරවුලක් බවට පත්වනවා. මේ පුතුන් දෙදෙනා අවමංගල්‍යයේ වැඩ පටන් ගැනීමට පෙර තම මව හා බිරින්දෑ දෙදෙනා සමඟ එකතු වී, කාටත් හොර රහසේම පියාගේ සක්‍රීය ශිෂ්ණය පහලට නැමීමට හැකි සෑම උත්සාහයක්ම දරනවා. ඒ උත්සාහයන් අතරතුරේදීයි ඔහුන්ගේ ගැටුම් ආරම්භ වන්නේ…

ඒ අතරතුරේදී පවුලේ සියලුදෙනාම උත්සාහ කරන්නේ, මෙම ලැජ්ජා සුලු ව්‍යසනය නෑදෑයන්ගෙන් සහ, විශේෂයෙන්ම අසල්වැසි ඕපාදූප ස්ත්‍රියක් වන කමලාගෙන් වසන් කර, තම පවුලේ නම්බුව රැක ගැනීමටයි.

දරුවන් එකතු වී සිය පියාගේ සක්‍රීය ශිෂ්ණය පහල දැම්මේ කෙසේද?
මේ කරදරයෙන් බේරෙන්නට ඔවුන් ගත් සෑම උත්සාහයක්ම වැරදුනේ ඇයි?
මේ ලැජ්ජා සුලු සිද්ධිය අසල්වාසී කමලාගෙන් වසන් කිරීමට ඔවුන්ට හැකි වුනාද?
මේ කලබල මැද ඔවුන්ගේ නිවසට එන ආගන්තුක අමුත්තිය කවුරුන්ද?

මේවාට පිළිතුරු සොයා ගන්නට නම් ඔබට, මේ දිනවල අතිශය සාර්ථකව දිවයින පුරා තිරගත වන Tentigo (නෙළුම් කුළුණ) නරඹන්නටම සිදුවනවා.

නෙළුම් කුළුණ චිත්‍රපටයෙ හි ප්‍රධාන චරිත සඳහා රංගනයෙන් එක්වන්නේ කෞෂල්‍යා ප්‍රනාන්දු – ප්‍රියන්ත සිරිකුමාර – තුසිත ලක්නාත් – රංජිත් පනාගොඩ – චමිලා පීරිස් – දිල්හානි ඒකනායක – ආලෝකා ගයාත්‍රී – සුලෝචනා වීරසිංහ සමඟින් සමන් කෝරළගේ යි.

නෙළුම් කුළුණ චිත්‍රපටයේ තිර පිටපත සහ අධ්‍යක්ෂණය සිදු කළේ දිගු කාලයක් තිස්සේ මෙරට වෙළඳ දැන්වීම් ක්ෂේත්‍රයේ අත්දැකීම් තිබෙන ඉලංගෝ රාම් විසිනුයි. මෙය ඔහුගේ පළමු සිනමා අධ්‍යක්ෂණයයි. මීට සමගාමීව ඔහු විසින්ම අධ්‍යක්ෂණය කළ Tentigo චිත්‍රපටයේ ඉන්දියානු ප්‍රතිනිර්මාණයත් ලෝ පුරා තිරගත වීම පසුගියදා ඇරඹුනා.

ලාංකීය සිනමා ඉතිහාසය තුළ, මෙරට චිත්‍රපටයක් ඉන්දියානු සිනමාවට remake වූ පළමු සහ එකම අවස්ථාව වන්නේ ද මෙයයි. Perusu යනුවෙන් නම් කර තිබෙන ඒ නිර්මාණයත් ජනප්‍රිය කොලිවුඩ් නලු නිලියන් රැසකගේ රංගනයෙන් මේ වනවිට සාර්ථකව තිරගත වනවා. නෙළුම් කුළුණ මෙන්ම Perusu සිනමාපටයටත් ලෝ පුරා රසිකයින්ගෙන් ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාර ඉතාම ඉහළයි!

මීට අමතරව නෙළුම් කුළුණ සිනමාපටය හින්දි භාෂාවෙන් යළිත් remake වීමට නියමිතයි. මෙහි ස්පාඤ්ඤ, බෙල්ජියම්, ඉතාලි, ඇමරිකා සහ ප්‍රංශ ප්‍රතිනිර්මාණ සඳහා ද මේ වනවිට සාකච්ඡා පවත්වමින් තිබෙනවා.

නෙළුම් කුළුණ චිත්‍රපටය මෙරට ප්‍රදර්ශනය ඇරඹීමට පෙර ලෝ පුරා පැවැත්වන විදෙස් සිනමා උළෙල ගණනාවක්ම නියෝජනය කළ අතර එහිදී ජාත්‍යන්තර සම්මාන රැසකින් පිදුම් ලබන්නටත් එය සමත් වුනා. එස්තෝනියාවේ Black Nights සිනමා උළෙලදී ලබාගත් විශේෂ ජූරි සම්මානය ඒ අතුරින් සුවිශේෂී යි. මෙය ශ්‍රී ලාංකේය සිනමා ඉතිහාසයේ කුලුඳුල් චිත්‍රපටයකට A -list සිනමා උළෙලකදී සම්මානයට පාත්‍ර වූ තෙවන වතාවයි. ඒ අවුරුදු 17කට පසුවයි.

පහත සබැඳියෙන් නෙළුම් කුළුණ සිනමාපටයෙ හි නිල පූර්ව ප්‍රචාරක පටය නරඹන්නට ඔබට පුලුවන්.

පසුගිය වසරේ දෙරණ සිනමා සම්මාන උළෙලේ Cinema of Tomorrow අංශයෙන් විශිෂ්ටතම ලාංකීය සිනමාපටය ලෙසින් සම්මානයට පාත්‍ර වූයේ ද නෙළුම් කුළුණ චිත්‍රපටයයි.

එම සම්මාන උළෙලවලට අමතරව,
Glasgow Film Festival – ස්කොට්ලන්තය
UK Asian Film Festival – බ්‍රිතාන්‍යය
Karawan Film Festival – ඉතාලිය
Sao Paolo Film Festival – බ්‍රසීලය
AFRIFF African Film Festival – නයිජීරියාව
Fribourgh International Film Festival – ස්විට්සර්ලන්තය
Eikhoigi International Film Festival – ඉන්දියාව
වැනි ලෝකය පුරා තවත් විදෙස් චිත්‍රපට උත්සව රැසක්ම නියෝජනය කරන්නට මෙය සමත් වුනා.

නෙළුම් කුළුණ චිත්‍රපටය නිෂ්පාදනය හිරන්‍යා පෙරේරා විසින් සිදු කළ අතර සංස්කරණය ආදන් සිවනන්තර් විසිනි. නිරෝෂන් එදිරිමාන්න සහ ප්‍රසන්න නිරෝෂන් මෙහි සහාය අධ්‍යක්ෂක ලෙස කටයුතු කළා. දිනිඳු ජාගොඩ වර්ණ සංකලන ශිල්පියායි. මංජුල පෙරේරා විතානගේ නිෂ්පාදන කළමනාකරුයි.

අජන්ත අලහකෝන් නිෂ්පාදන සැලසුම්කරණයෙනුත්, රජිත දික්හින්න වේෂ නිරූපණයෙනුත් සම්බන්ධ වූ මෙහි සංගීතය නිර්මාණය කලේ ලියෝන් බොබ් ජේම්ස් සහ රංගන සිංහාරගේ විසිනි. චිත්‍රපටයේ කැමරාකරණය සිදු කළේ අධ්‍යක්ෂක ඉලංගෝ රාම් විසින්මයි.

ලාංකීය සිනමාවෙන් මෙතෙක් නොදුටු අපූරු සිනමා රස වින්දනයක් වෙනුවෙන්,
ඔබත් අදම ළඟම සිනමාහලට ගොඩවන්න!!

Share

657 Views 1.5 On 2 Ratings Rate it

Written by Kavinu Weerakkody


  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.