ධර්ම යුද්ධය 02 වැඩ අරඹයි – ජැක්සන් වෙනුවට බිමල්

Avatar Kavinu Weerakkody | June 24, 2025 60 Views 0 Likes 0 Ratings

60 Views 0 Ratings Rate it

ජැක්සන් ඇන්තනි මහතා ප්‍රධාන චරිත රඟපෑ ධර්ම “යුද්ධය චිත්‍රපටය” Box Office වාර්තා අලුත් කරමින් රුපියල් කෝටි 20කට අධික ආදායමක් වාර්තා කළ, මෙරට ජනප්‍රියම චිත්‍රපටයක්.

Drishyam නැමැති මලයාලම් සිනමාපටයෙන් ලාංකීය සිනමාවට නැඟුනු එහි, දෙවන දිගහැරුමකට වැඩ කටයුතු පසුගියදා ආරම්භ වුනා.

ජැක්සන් ඇන්තනි මහතාගේ සමුගැනීම නිසා දෙවන චිත්‍රපටයේ ප්‍රධාන චරිතය නිරූපණය කරන්නේ මෙරට දක්ෂ චරිතාංග නලුවෙකු වන බිමල් ජයකොඩි යි.

ඒ සමඟින් දිල්හානි ඒකනායක, සනත් ගුණතිලක සහ කුසුම් රේණු ඔවුන්ගේ සුපුරුදු චරිත හරහා දෙවන චිත්‍රපටයටත් එකතු වනවා. පළමු සිනමාපටයේ නොසිටි දිනක්ෂි ප්‍රියසාද් සහ නලින් ලුසේනා ද දෙවන චිත්‍රපටයට රංගනයෙන් එක්වන අතර ඔවුන්ගේ චරිත ගැන වැඩි විස්තරයක් දැනට සොයා ගන්නට නැහැ.

මීට අමතරව නව පරපුරේ තවත් ජනකාන්ත නලු නිලියන් රැසක් මෙහි රංගනයෙන් එක්වීමට නියමිතයි.

ධර්ම යුද්ධය -2 අධ්‍යක්ෂණය කරන්නේ අරුණ ජයවර්ධන විසිනුයි. මාරියා, නිකිනි වැස්ස, 1970 ලව් ස්ටෝරි වැනි සිනමාපට අධ්‍යක්ෂණය කළ ඔහු පුංචි තිරයේ ටෙලි කතාමාලා රැසකුත් නිර්මාණය කර තිබෙනවා.

චිත්‍රපටයේ තිර පිටපත සුනෙත් මාලිංග ලොකුහේවාගෙනි. කැමරාකරණය චන්න දේශප්‍රියගෙනි. නිෂ්පාදනය සිරස ටීවි විසින් සිදු කරනවා. සිරසෙන් මීට පෙර නිෂ්පාදනය කළ හැපී බර්ත් ඩේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේ ද අරුණ ජයවර්ධන විසින්මයි.

මෙහි මුහුරත් උළෙල පසුගියදා කොළඹදී පැවැත්වුනු අතර චිත්‍රපටයේ රූගත කිරීම් මාතලේ ප්‍රදේශයේදී ආරම්භ වුනා.

ජනප්‍රිය නලු මෝහන්ලාල් රංගනයෙන් එක්වන Drishyam මලයාලම් චිත්‍රපටයෙන් පසුව එහි දෙවන කොටස Drishyam 02: The Resumption නමින් තිරගත වුනේ පසුගිය 2021 වසරේදීයි. වරුණ්ගේ මරණයේ අභිරහස වැළලී ගියා යැයි සිතුවත්, එම මරණයේ සෙවණැලි නැවතත් ජෝජ්කුට්ටිගේ පවුල පසුපස හඹා එන ආකාරයත්, ඔහු ඊට මුහුණ දෙන ආකාරයත් Drishyam 02වන කොටසෙන් ඔබට නැරඹිය හැකියි.

Share

60 Views 0 Ratings Rate it

Written by Kavinu Weerakkody


  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.