සිනමාව, කර්මාන්තයක් ලෙසින් ලියාපදිංචියට පාර්ලිමේන්තු අනුමැතිය.

Avatar Nisanka Weheraduwa | November 17, 2021 251 Views 0 Likes 5 On 1 Rating

251 Views 5 On 1 Rating Rate it

ශ්‍රී ලාංකීය සිනමාව, කර්මාන්තයක් ලෙස ලියාපදිංචි කිරීම සඳහා ඉදිරිපත් කළ යෝජනාවකට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා. බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ ඒකාබද්ධව ඉදිරිපත් කළ යෝජනාවකට මෙලෙස අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇතැයි සඳහන්.

කොවිඩ් 19 වසංගතය හමුවේ දේශීය සිනමා කර්මාන්තය අර්බුද රාශියකට මුහුණ පා ඇති බවත්, චිත්‍රපට කර්මාන්තය දියුණු කිරීම තුළින් මෙරට ආර්ථිකයට සැලකිය යුතු දායකත්වයක් ලබා ගත හැකි බවටත් එම යෝජනාවේ පෙන්වා දී තිබෙනවා. දියුණු සිනමා කර්මාන්තයක් පවතින බොහෝ රටවල එහි වර්ධනය සිදු වී ඇත්තේ එම රටවල් විසින් සිනමාව කර්මාන්තයක් ලෙස පිළිගැනීමෙන් පසුව වන බවත් සඳහන් වනවා.

මේ සම්බන්ධව අමාත්‍ය මණ්ඩල කාර්යාලය මඟින් නිකුත් කළ නිවේදනය පහතින්.

“ සිනමාව කර්මාන්තයක් ලෙස පිළිගැනීම

– ශ්‍රී ලංකාවේ සිනමා කර්මාන්තය තුළ කැපී පෙනෙන චිත්‍රපට රාශියක් නිෂ්පාදනය වී ඇති අතර ජාත්‍යන්තර කීර්තියට පත් දක්ෂ සිනමාකරුවන් බොහෝ දෙනෙක් ශ්‍රී ලංකාව වෙතින් ලෝක සිනමාවට දායක කර තිබේ. එහෙත්, දේශීය සිනමා කර්මාන්තය, කර්මාන්තයක් ලෙස නීත්‍යානුකූලව ප්‍රකාශයට පත් කර නොමැති වීම තුළ එහි ප්‍රමාණය හා වර්ධනය කුඩා දේශීය වෙ‍ළඳපොළට සීමා වී තිබේ. එමෙන්ම, කොවිඩ් – 19 ගෝලීය වසංගත තත්ත්වය හමුවේ දේශීය සිනමා කර්මාන්තය මහත් අර්බුද රැසකට මුහුණ පා ඇත. චිත්‍රපට කර්මාන්තය දියුණු කිරීම සහ ප්‍රවර්ධනය කිරීම තුළින් ජීවනෝපාය මාර්ගයන් රාශියක් උත්පාදනය වීම, සමාජ හා සංස්කෘතික මෙන්ම ආර්ථික නවීකරණයක් ඇති වීම, සංචාරක ව්‍යාපාරය හා අධ්‍යාපනය යන අංශ සඳහා දායක වීම ආදී ප්‍රතිලාභ රාශියක් අත් කර ගත හැකි බව හා එමගින් ආර්ථිකයට සැලකිය යුතු දායකත්වයක් ලබා ගැනීමට හැකියාව ලැබෙනු ඇති බව හඳුනාගෙන තිබේ. එමෙන්ම, ලෝකයේ බොහෝ දියුණු සිනමා කර්මාන්තයක් පවතින රටවල එම කර්මාන්තයේ වර්ධනය සිදු වී ඇත්තේ එම රටවල් විසින් සිනමාව කර්මාන්තයක් ලෙස පිළිගැනීමෙන් පසුව වන බව ද නිරීක්ෂණය කර ඇත. ඒ අනුව, මෙරට සිනමා කර්මාන්තයේ ප්‍රවර්ධනය හා ජාත්‍යන්තර පිළිගැනීම ලබා ගැනීමට හැකි වන පරිදි සිනමාව කර්මාන්තයක් ලෙස ලියාපදිංචි කිරීම පිණිස බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය වශයෙන් ගරු අග්‍රාමාත්‍යතුමා සහ කර්මාන්ත අමාත්‍යතුමා ඒකාබද්ධව ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. “

Share

251 Views 5 On 1 Rating Rate it

Written by Nisanka Weheraduwa


  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.