සිනමා අධ්‍යයනය වෙනුවෙන් CFTA ඇරඹෙයි – ප්‍රධානි තනතුර විමුක්තිට
දකුණු ආසියානු කලාපයේ සිනමාවේ හෙට දවස පිලිබඳ අලුත් බලාපොරොත්තුවක් ඇති කරවන ආරංචියක් ලංකාවෙන් පසුගියදා අසන්නට ලැබුනා. ඒ, දකුණු ආසියාවේ සිනමාව පිලිබඳ හදාරන සිසුන් වෙනුවෙන් විවෘත වුනු ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුතු සිනමා පාසලක් පිළිබඳව. Colombo Film and Television Academy ලෙස මෙය නම්කොට තිබෙනවා. ජාත්‍යන්තර මට්ටමේ උසස් අධ්‍යාපන ආයතනයක් වන Colombo school of business management ආයතනයට අනුබද්ධව මෙය ආරම්භ කොට ඇතැයි සඳහන්.
දකුණු ආසියානු කලාපයේ ඕනෑම රටක සිනමාව සහ රූපවාහිනීකරණය හැදෑරීමට උනන්දුවක් දක්වන විද්‍යාර්ථින්හට මෙම පාසල මගින් උසස් ජාතික ඩිප්ලෝමාවන් සඳහා අධ්‍යන කටයුතු සිදු කිරීමට හැකියාව තිබෙනවා. ජූලි 19 වැනිදා සිට නිළ වශයෙන් අයදුම්පත් බාරගැනීමේ කටයුතු සිදුවන බව එහි අධ්‍යක්ෂ ධනුෂ්ක ගුණතිලක පවසනවා. CFTA ප්‍රධානි (Head) ලෙස සම්මානනීය සිනමාවේදී විමුක්ති ජයසුන්දර පත්කොට ඇති බව සඳහන්. මෙරට සිනමා ක්ෂේත්‍රයේ ප්‍රවීණ සම්මානනීය අධ්‍යක්ෂවරුන් සහ නිර්මාණවේදීන් මෙහි අධ්‍යයන කටයුතු සඳහා සම්පත්දායකයින් ලෙස කැඳවා ගැනීමට ආයතනයේ පාලනාධිකාරිය සැලසුම් කොට තිබෙනවා. දේශීය මෙන්ම ජාත්‍යන්තරවද කීර්තියක් ලැබූ, විෂය දැනුම සහිත ප්‍රවීනයින් සම්පත්දායකයින් ලෙස භාවිතා කිරීමට ඔවුන් අපේක්ෂා කරනවා. ඉදිරියේදී සිනමාව පිලිබඳ ජාත්‍යන්තර ප්‍රමිතියේ උපාධි ප්‍රධානය කරන ආයතනයක් දක්වා මෙය වර්ධනය කිරීම සිය අපේක්ෂාව බවත් ධනුෂ්ක ගුණතිලක පවසනවා.
කාලයක් පටන් මෙරට සිනමාව පිලිබන්ධ විධිමත්ව අධ්‍යයනය කළ හැකි සිනමා පාසලක අඩුවක් පැවති බවත් එම අඩුව සම්පුර්ණ කිරීමට CFTA සමත් වනු ඇති බවත් ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගේ අදහසවී තිබෙනවා.
Written by Nisanka Weheraduwa
