හොලිවුඩයට The Expendables – බොලිවුඩයට Baap

Avatar Kavinu Weerakkody | June 21, 2022 157 Views 0 Likes 0 Ratings

157 Views 0 Ratings Rate it

ලෝක සිනමාවේ කාලානුරූපීව තාක්ෂණික සහ කලාත්මක වශයෙන් වෙනස් වනවා සේම, ඒ තුළ කාලානුරූපීව විවිධ සිනමා පරම්පරා ද බිහිවනවා. විවිධ කාල සීමාවන්ට සමගාමීව ලෝකයේ අතිශය ජනප්‍රියත්වය පත් වන චිත්‍රපට චරිත මෙම සිනමාව තුළ බිහිවනවා. එය එදත්, අදත් මෙන්ම හෙට දිනයටත් පොදු කාරණාවක්. එවැනි ලෝක මට්ටමේ ජනප්‍රියතාවයක් ලබා ගන්නා සිනමා චරිත ඒ ඒ පරම්පරාවන්වල leading actorsලා බවට පත් වීමත්, ඒ සමඟින්ම සිදු වනවා. ’70 දශකය… ’80 දශකය… ’90 දශකය… ආදී වශයෙන් හැඳින්වෙන සිනමාවේ එවැනි දශක සහ ඒවායේ ජනප්‍රියතම නලු නිළියන්ගේ නිර්මාණ අදටත් ලෝ පුරා රසිකයින් උනන්දුවෙන් නරඹනවා. ඔවුන් සිනමාව තුළ සිය ආධිපත්‍යය පැතිරවූ කාල සීමාව අවසන් වී තිබුණද, අදටත් එවැනි ’80-90 රංගන ශිල්පීන්ගේ ජනප්‍රියත්වය අඩු වී නැහැ.
ඔවුන්ව රංගනයෙන් දායක කරගනිමින් නිෂ්පාදනය වන වර්තමාන චිත්‍රපට පවා ප්‍රේක්ෂකයින්ගේ අවධානයට නතුවනවා. හොලිවුඩයේ The Expendables ක්‍රියාදාම චිත්‍රපට මාලාව ඊට හොඳම නිදසුනක්.

Sylvester Stallone, Dolph Lundgren, Arnold Schwarzenegger, Bruce Wills වැනි හොලිවුඩයේ 80-90 දශකවල ඉහළම රසික ප්‍රසාදයක් අත්කරගෙන සිටි iconic චරිත රාශියක් The Expendables චිත්‍රපට මාලාව හරහා නැවතත් ප්‍රේක්ෂකයින් අතරට පැමිණියේ ඔවුන්ට සුපුරුදු ක්‍රියාදාම ශෛලයෙනුයි. එමෙන්ම ප්‍රේක්ෂකයිනුත් එය ධනාත්මකව බාරගෙන The Expendables සිනමාපටවලට සිය කැමැත්ත පළ කළා. චිත්‍රපට 04කින් සමන්විත The Expendables චිත්‍රපට මාලාව අද වනවිට ලෝකයේ සාර්ථකම action movie franchise කිහිපය අතරට එකතු වන්නේ එහි ප්‍රතිඵලයක් විදිහටයි.

හොලිවුඩයේ එවැනි සාර්ථකත්වයක් අත් කරගත් The Expendables චිත්‍රපටවලට බෙහෙවින්ම සමාන සිදුවීමක් අද වනවිට ඉන්දියානු සිනමා කර්මාන්තයෙනුත් දැකගන්නට පුලුවන්. ඉන්දියාවේ උතුරු ප්‍රාන්ත මුල් කරගත් හින්දි සිනමාවේ 80-90 දශක තුළ රජ කළ ප්‍රධාන වාණිජ සිනමාවේ ක්‍රියාදාම සිනමා තරු කිහිප දෙනෙකුගේ ම එකතුවෙන් නවතම ක්‍රියාදාම චිත්‍රපටයක නිෂ්පාදන කටයුතු මේ වනවිටත් ආරම්භ කර අවසානයි.

හොලිවුඩයේ The Expendables හැඩයට ඉන්දියානු ප්‍රේක්ෂකාගාරය වෙත නිර්මාණය වන මෙම චිත්‍රපටය “Baap” යනුවෙන් හැඳින්වෙන බවයි පැවසෙන්නේ. මේ වනවිට චිත්‍රපටයේ රූගත කිරීම් පවා ඇරඹී තිබෙන අතර විදෙස් දර්ශන තල කිහිපයකුත් මෙම නිර්මාණය වෙනුවෙන් යොදාගැනීමට නියමිත බවට විවිධ වෙබ් අඩවි වාර්තා කර තිබෙනවා.

චිත්‍රපටයේ ප්‍රධාන චරිත සඳහා පණ පොවන්නේ ’80 ’90 හින්දි සිනමාවේ අතිශය ඉහළ රසික ආකර්ෂණයක් දිනා ගෙන සිටි action superstars සිව් දෙනෙකු වන Sunny Deol, Sanjay Dutt, Mithun Chakraborty සහ Jackie Shroff විසිනුයි. ඔවුන් සිව්දෙනාගේ ස්වර්ණතම රංගන අවධිය වන 80-90 දශක තුළදී වැඩිම ආදායමක් ඉපැයූ වාර්ෂික ක්‍රියාදාම චිත්‍රපට සියල්ලම පාහේ මොවුන්ගේ නිර්මාණ බවටයි අන්තර්ජාලයේ සඳහන් වන්නේ. ඒ නිසා නිතැතින්ම, එකල වැඩිම ඉල්ලුමක් සහිත හින්දි නලු නිළියන් අතුරින් Sunny Deol, Sanjay Dutt, Mithun Chakraborty සහ Jackie Shroffට ඉහළ ස්ථානයක් හිමි වී තිබෙනවා.

කෙසේ වුවත්, මොවුන් සිව්දෙනාම එක් කලෙක සිනමාවේ පතාක රංගන ශිල්පීන්ව සිටි නිසා මෙම නිර්මාණයේදීත් ඔවුන් සිව්දෙනාටම සමාන තිර කාලයක් ලබා දීම චිත්‍රපටයේ නිෂ්පාදකයින් සතුව තිබෙන දැවැන්ත අභියෝගයක්. ඔවුන් සිව්දෙනාටම ගැළපෙන අන්දමින් මෙම චිත්‍රපටය නිෂ්පාදනය වුවහොත්, එය හින්දි සිනමාවේ boxoffice වාර්තා අලුත් කරන සංදිස්ථානයක් විය හැකියි.

Akshat Shaluja විසින් තිර පිටපත රචනා කර ඇති මෙම චිත්‍රපටය Vivek Chauhanගේ අධ්‍යක්ෂණයකි. Tanu Weds Manu Returns (2015) සහ Highway (2014) චිත්‍රපට ද්විත්වයේ සහාය අධ්‍යක්ෂකවරයෙක් ලෙස සේවය කළ ඔහු වෘතාන්ත-සිනමා අධ්‍යක්ෂණයට පිවිසෙන්නේ Mehak Sugandh හරහායි. මෙය ඔහුගේ දෙවන චිත්‍රපට අධ්‍යක්ෂණයයි. මින් පෙර Akbar Birbal, Santoshi Ma හා Chandrakanta ටෙලි කතාමාලාවල සහාය අධ්‍යක්ෂකවරයෙකු ලෙසත් Vivek Chauhan කටයුතු කොට තිබෙනවා.

80-90 දශකයේ ප්‍රසිද්ධ සිනමා තරු යොදා ගනිමින් ක්‍රියාදාම ගණයේ චිත්‍රපටයක් නිර්මාණය කිරීම සඳහා මුලින්ම මෙම අදහස පැමිණ තිබෙන්නේ ප්‍රසිද්ධ ඉන්දියානු අධ්‍යක්ෂකවරයෙකු වන Ahmed Khanටයි. පසුව ඔහු Zee Studios හා සාකච්ඡා කරමින් මෙහි නිෂ්පාදන පිරිවැය හවුලේ දරන්නට ඉදිරිපත් වී තිබෙනවා. Baaghi 02, Baaghi 03, Heropanti 02 වැනි action movies කිහිපයකම අධ්‍යක්ෂකවරයා වන Ahmed Khan මේ දිනවල සිටින්නේ ඔහුගේ නවතම නිෂ්පාදනය වන OM: The Battle Within තිරගත වීම ඇරඹෙන තුරුයි. එයත් මේ චිත්‍රපටය මෙන්ම Ahmed Khan – Zee Studios සුසංයෝගයෙන් නිෂ්පාදනය කළ සිනමා නිර්මාණයක්. එහි ප්‍රධාන චරිතය රඟ දක්වන්නේ ආදිත්‍ය රෝයි කපූර් විසිනි.
OM: The Battle Within චිත්‍රපටයේ තිර පිටපත රචනා කොට තිබෙන්නේ ද මෙම නිර්මාණය රචනා කළ Akshat Shaluja විසින්මයි.

පසුගිය ජුනි 15 වනදා නිෂ්පාදන කටයුතු ඇරඹි මෙම නිර්මාණය ඉන්දියාවේ ප්‍රදේශ ගණනාවක රූගත කිරීමට නියමිතයි. මුම්බායි ප්‍රදේශයේ දැවැන්ත චිත්‍රාගාරයක් ද මෙහි action sequences සඳහා යොදා ගැනීමට සූදානම් කර තිබෙනවා. මාස 02ක පමණ කාලයක් එකදිගට රූගත කරමින්, වේගවත් schedule කිහිපයක් ආවරණය කර ගැනීමට නිෂ්පාදන කණ්ඩායම වෙහෙස වන බවයි ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් පවසන්නේ.

“It’s more of a desi Expendables, as all the four men are historically known for having an action image among the masses,”

අදටත් 80-90 ක්‍රියාදාම චිත්‍රපට රස විදින පුද්ගලයින්ට නම්, පුළුල් තිරයේ මෙය නැරඹීමට ලැබෙන අවස්ථාව ඔවුන්ගේ ජීවිතයේ අමතක නොවන සිදුවීමක් වනු ඇති බවට අධ්‍යක්ෂකවරයා විසින් සම්මුඛ සාකච්ඡාවකදී පවසා තිබෙනවා. කෙසේ වුවත්, මෙහි තිර පිටපත තුළින් මෙම නලුවන් සිව්දෙනාටම සාධාරණය සහ සමාන දක්ෂතාවයක් පෙන්වීමට අවස්ථාවක් ලැබෙනු ඇති බවටයි රසිකයින් විශ්වාස කරන්නේ.

 

Share

157 Views 0 Ratings Rate it

Written by Kavinu Weerakkody


  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.