Golden Globes lifetime achievement award සඳහා Tom Hanks නිර්දේශ වෙයි
ලෝක ප්‍රකට Golden Globes සම්මාන උළෙල ලොව පැවැත්වෙන ප්‍රධාන සිනමා සම්මාන උළෙල කිහිපය අතුරින් එකක්. මේ සම්මාන උළෙලේදී ජිවිතයේ එක වරක් පමණක් පිරිනැමෙන සම්මානයක් ප්‍රධානය කෙරෙනවා. සිනමා ක්ෂේත්‍රය වෙනුවෙන් ලබාදෙන දායකත්වය අගයමින් මේ සම්මානය වාර්ෂිකව පිරිනැමෙන්නේ රංගවේදියකු, අධ්‍යක්ෂවරයකු හෝ නිෂ්පාදකයකු වෙනුවෙනුයි. 2020 වසර සඳහා මේ lifetime achievement award ඇගයීම වෙනුවෙන් දක්ෂ සම්මානනීය නළු Tom Hanks තෝරාගෙන තිබෙනවා. ඒ අනුව එළඹෙන ජනවාරි 05 වැනිදා පැවැත්වෙන ගෝල්ඩන් ග්ලෝබ්ස් සම්මාන උළෙලේදී ඔහු මෙම සම්මානයෙන් පිදෙනු ඇති.
Thomas Jeffrey Hanks උපත ලබන්නේ 1956 ජූලි 09 වැනිදා. වයස අවුරුදු 22දී නිව්යෝක් නගරයට පැමිණෙන ඔහු සිය පළමු චිත්‍රපටයට රංගනයෙන් දායක වනවා. He Knows You Are Alone නම් වූ මේ චිත්‍රපටයට රංගනයෙන් එක්වීමත් සමග Hanks සිය වෘත්තීය ජීවිතය පුර්නාකාලින නළුවකු ලෙස ආරම්භ කරනවා. එතැන් සිට විකට නළුවකු මෙන්ම චරිතාංග නළුවකු ලෙසද ඉතා අසීරු රංගනයන් ඉදිරිපත් කරන්නකු ලෙසද ක්ෂේත්‍රයේ නමක් දිනා ගැනීමට ඔහු සමත් වනවා. Splash (1984), Big (1988), Turner & Hooch (1989), A league of Their Own (1992), Forrest Gump (1994), Apollo 13 (1995), The Green Mile (1999), Cast away (2000), Captain phillips (2013), Sully (2016) චිත්‍රපට ප්‍රේක්ෂකයන් ඉතා ආදරයෙන් වැළඳගත් නිර්මාණ වුනා. හොලිවුඩ් සිනමාවේ දැවැන්තයකු වන Steven Spielberg සමග Hanks සුසංයෝගයෙන් නිර්මාණය වුනු Saving Private Ryan (1998), Catch Me If you Can (2002), Bridge of Spies (2015), The Post (2017) වැනි චිත්‍රපට හොලිවුඩ් සිනමාවේ නොමැකෙන සටහන් ඉතිරි කොට තිබෙනවා. Golden Globes සම්මාන උළෙල, Academy සම්මාන උළෙල, Screen actor guild award, People’s choice awards ඇතුළු සම්මාන උළෙල රැසකදී සම්මානයට පාත්‍ර වීමට Hanks සමත් වුනා.
2020 වසරේ ගෝල්ඩන් ග්ලෝබ්ස් සම්මාන උළෙලේ ජිවිතයේ එක වරක් පමණක් පිරිනැමෙන Cecil B DeMille සම්මානය Tom Hanks වෙත පිරිනැමීමට ගත තීරණය සාඩම්බරයෙන් දැනුම් දෙන බව The Hollywood Foreign Press Association (HFPA) නිවේදනය කොට තිබෙනවා.
Written by Nisanka Weheraduwa
