මහරජ ගැමුණු වෙබ් අඩවිය එළිදකී
හෙළ වංශකතාවේ මුණ ගැසෙන මේ සුවිශේෂී වීරයාගේ පුවත ප‍්‍රතිනිර්මාණය කරන්නට ජයන්ත චන්ද්‍රසිරි ශූරීන් බොහෝ කල් යල් බැලූ බව නො රහසකි. මේ සිනමා නිර්මාණයට පෙර මෙහි පිටපත ඇසුරින් කළ ‘මහරජ ගැමුණු’ ඓතිහාසික නවකතාවට හිමි වූයේ නො මඳ පාඨක ප‍්‍රතිචාරයකි. එය කියවූවන් ඊළඟට ඇසුවේ ”මේ වීරයා සිනමාවට ගෙනෙන්නේ කවදා ද?” කියා ය. එ් සියලූ දෙනා නො ඉවසිල්ලෙන් බලා හුන් සිනමා නිර්මාණයේ රූගත කිරීම් පසුගිය ජනවාරි 31 වනදා ඇරඹිනි. මේ වනවිට එහි සියලූ රූගත කිරීම් අවසන්ව තිබෙන අතර දැන් සංස්කරණ කටයුතු සිදු කෙරෙමින් පවතී.
තුන් හෙළයේ සුපූජිත එ් ශ්‍රේෂ්ඨ චරිතය ලෝකයට ගෙන යාමේ අරමුණින් මහරජ ගැමුණු සිනමා නිර්මාණයේ අන්තර්ජාල වෙබ් අඩවිය www.maharajagemunu.lk 2014 ජූනි 26 වන දිනයේ එළි දැක්විනි. එ් ජාතික චිත‍්‍රපට සංස්ථාවේ දී ය. මේ ජාතික කර්තව්‍යයට රුකුලක් වෙමින්, ජාතික අවශ්‍යතාවය හඳුනාගනිමින් මහරජ ගැමුණු වෙබ් අඩවිය නිර්මාණය කිරීමේ අභිමානවත් කාර්යභාරයට උර දෙන ලද්දේ මහාමේඝ මාධ්‍ය ජාලයයි.
විද්වතුන්ගේ ද කලාකරුවන්ගේ ද සහභාගීත්වයෙන් පැවති මෙම වෙබ් අඩවිය එළිදැක්වීමේ උත්සවයේ දී ‘මහරජ ගැමුණු’ කෘතියේ හයවන මුද්‍රණය ද නිකුත් කෙරිනි. කැලූම් ශ්‍රීමාල් පෙරේරා විසින් මෙහෙයවන ලද උත්සව සභාවේ දී ජාතික චිත‍්‍රපට සංස්ථාවේ සභාපති අශෝක සේරසිංහ, ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය ධම්ම දිසානායක, මහරජ ගැමුණු අධ්‍යක්ෂ ජයන්ත චන්ද්‍රසිරි සහ සිප්වින් චිත‍්‍රපට වෙනුවෙන් මහරජ ගැමුණු නිෂ්පාදනයට දායක වුණ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය ගුණපාල රත්නසේකර යන මහත්වරු විශේෂ දේශන පවත්වන ලදී. මේ අවස්ථාවට සහභාගී වූ පිරිසට මහරජ ගැමුණු සිනමා නිර්මාණයේ සංස්කරණය නො කළ දර්ශන ද ගීතමය රූප රාමු ද රූගත කිරීම් අතරතුර අවස්ථාවන් ද කිහිපයක් වීඩියෝ දර්ශන ලෙස නැරඹීමේ අවස්ථාව හිමි විය.
කිසි දිනයක ඉතිහාසයෙන් මකා දැමිය නො හැකි එ් ශ්‍රේෂ්ට යුග පුරුෂයාගේ ජීවන පුවත දැන් රූප රාමු අතර ය. ‘එ් සියල්ල එක පෙළට අප දකින්නේ කවදා ද?’ යන කුතුහලය, නො ඉවසිල්ල ඔබටත් තිබෙනවා විය යුතු ය. ‘මහරජ ගැමුණු’ වෙනුවෙන් හදවතේ පුළුල් ඉඩක් වෙන් කරගෙන සිටිනා සියලූදෙනාට ‘මහරජ ගැමුණු’ සම්මුඛ කරවමින් 2015 ජනවාරියේ දී මේ සිනමා නිර්මාණය තිරගත වන බව අප සටහන් තබන්නේ හද පිරි සොම්නසිනි.
Written by Cinema.lk A
















