ශ්‍රී සිද්ධාර්ථ ගෞතම මේ මස 24 දා සිට ඊ. ඒ. පී. මණ්ඩලයේ
ලෝකයක් අඳුරින් මුදවාගෙන ආලෝකයේ මාවතකට යොමු කළ මිනිසුන් අතරින් බුද්ධ චරිතයට හිමි වන්නේ ඉතාමත් සුවිශේෂී වු ස්ථානයක්.ලෝකයේ තිබෙන සෑම සැප සම්පතක්ම අතහැර මේ ලෝකයේ සෑම සත්ත්වයෙක්ගේම සුභ සිද්ධිය උදෙසා සැබැ විමුක්තිය සොයා යන සිද්ධාර්ථ කුමාරයාගේ භුමිකාව අපුර්ව වු සිනමා සිතුවමකින් ප්‍රතිනිර්මාණය කරන්නට ලාංකේය නිර්මාණකරුවන් පිරිසකට හැකිව තිබෙනවා.
සිදුහත් කුමාරයාගේ උපත්තියේ සිට බුදුවීම දක්වා දිව යන ශ්‍රී සිද්ධාර්ථ ගෞතම නම් මේ දැවැන්ත නිර්මාණය ජනවාරි මස 24 දා සිට ඊ. ඒ. පී. මණ්ඩලයේ තිරගත කිරිමට සියලු කටයුතු මේ වනවිටත් සුදානම් කර තිබෙනවා.රටවල් කිහිපයකම රංගන ශිල්පී,ශිල්පිණියන්ගේ රංගන දායකත්වයෙන් හැඩ වු මෙම නිර්මාණයේ අධ්‍යක්ෂකවරයා වන්නේ කලක් ජාතික චිත්‍රපට සංස්ථාවේ සාමාන්‍යාධිකාරීවරයා ලෙස කටයුතු කරන ලද සමන් වීරමන් විසිනුයි.එමෙන්ම නවීන් ගුණරත්නයන්ගේ නිෂ්පාදනයෙන් සහ නිෂ්පාදන සැලසුමෙන් දායක වූ මෙම දැවැන්ත සිනමාපටයේ සිද්ධාර්ථ කුමරුන්ගේ චරිතයට පණ පොවන්නේ ගගන් මලක් නම් ඉන්දීය ජාතික රංගන ශිල්පියෙකි.එලෙසම යශෝධරා දේවිය ලෙස අන්වල් සිංග්හ් ද, මහමායා දේවිය ලෙස අංශු මලික් ද, දෙව්දත් ලෙස ගෞතම් ගුලාටි ද එරටින් රංගනයේ යෙදෙයි. රන්ජන් රාමනායක සුද්ධෝදන රජු ලෙස ද, ජීවන් කුමාරතුංග බිම්බිසාර රජු ලෙස ද, සාරංග දිසාසේකර චන්න ඇමති ලෙස ද, රොෂාන් රණවන නන්ද කුමරු ලෙස ද, විශ්වමිත්‍ර බමුණු චරිතය බුද්ධදාස විතානාච්චි ද, සුක්‍රබුද්ධ රජු ලෙස ඩග්ලස් රණසිංහ ද, ශ්‍රී සිද්ධාර්ථ ගෞතම රංගනයෙන් හැඩ කරයි.
සංඝරත්නයේ අනුශාසනා මධ්‍යයයේ දීර්ඝ පර්යේෂණයකින් පසුව සමන් වීරමන් සමඟ එඩ්වින් ආරියදාස, නවීන් ගුණරත්න, ජෝර්ජ් කල්දාන සහ චන්ද්‍රන් රත්නම් මේ පිටපත සකස් කොට තිබෙනවා. කේ. ඩී. දයානන්ද කැමරා අධ්‍යක්ෂවරයාය. ප්‍රදීප් රත්නායක මෙහි ස්වර රටා නිර්මාණය කර ඇත. ජයන්ත රණවකගේ අංග රචනයකි. ප්‍රවීන් ජයරත්න සංස්කරණයෙන් ද, ඔමේෂ් විජේරත්න ඇඳුම් නිර්මාණයෙන් ද ශ්‍රී සිද්ධාර්ථ ගෞතම සඳහා දායක වෙති. රොෂාන් චන්ද්‍රරත්න පසුතල නිර්මාණ ශිල්පියාය.
Written by Cinema.lk A






















