අතුරුදන් වූ සම්මානය 177 බසයකින් මතුවෙයි

Avatar Nisanka Weheraduwa | May 5, 2018 38 Views 0 Likes 0 Ratings

38 Views 0 Ratings Rate it

අභාවප්‍රාප්ත ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ අතුරුදන්වූ යාවජීව ප්‍රණාම සම්මානය මාර්ග අංක 177 – කඩුවෙල – කොල්ලුපිටිය මාර්ගයේ ධාවනය වන බස් රථයක භාණ්ඩ රඳවනයක තිබී හමුවී තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර පවසන අන්දමට අද (05) 177  මාර්ගයේ සුඛෝපභෝගී බස් රථයක තිබී මෙම සම්මානය සොයාගෙන තිබේ.  ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ නිවසින් ඔහුට හිමි වූ යාවජීව ප්‍රණාම සම්මානය අතුරුදන්වීම පිළිබඳව පුද්ගලයන් 15 දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කර ගත් බව කොළඹ අපරාධ කොට්ඨාශය ප්‍රකාශ කොට තිබුනා.  කෙසේ වෙතත්, සැකකරුවන් සම්බන්ධයෙන් මේ දක්වා නිශ්චිත තොරතුරක් අනාවරණ වී නොමැති අතර, අවමංගල්‍ය කටයුතු සිදුවන දිනයේදී ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ නිවසේ දුරකථනයක් කිසියම් පුද්ගලයෙකු සොරකම් කරන ආකාරය මේ දිනවල සමාජ මාධ්‍ය තුළ සැරි සරනවා. අභාවප්‍රාප්ත ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ට හිමිවී තිබූ මෙම සම්මානය නිවසින් අතුරුදන්වීම සම්බන්ධයෙන් විධිමත් හා කඩිනම් පරීක්ෂණයක් පවත්වන ලෙස රාජ්‍ය පරිපාලන හා කළමණාකරණ සහ නීතිය හා සාමය අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර ද උපදෙස් ලබාදුන් අතර, නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු යටතේ එම පරීක්ෂණ කටයුතු ද සිදුකෙරෙනවා. ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් 1965 වසරේ නිර්මාණය කළ ගම්පෙරළිය චිත්‍රපටය වෙනුවෙන් දිල්ලි අන්තර්ජාතික සිනමා උළලේදී රණ මයුර සම්මානය හිමිකර ගත් අතර, යාවජීව ප්‍රණාම සම්මානය හිමිවූයේ ඉන් වසර 35 කට පසුවයි.

Share

38 Views 0 Ratings Rate it

Written by Nisanka Weheraduwa



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.