“මම මේ චිත්‍රපටය හැදුවේ මගේ ගෙදර උකස් කරලයි“ – සෝමරත්න දිසානායක

Avatar Cinema.lk A | May 31, 2013 45 Views 0 Likes 0 Ratings

45 Views 0 Ratings Rate it

චිත්‍රපට සංස්ථාවේ සභාපතිතුමා විසින් නිකුත් කළ නව නියෝගයක් නිසා ඇති වූ පිටපත් 35 සීමාවේ අර්බුදය තාමත් විවාදාත්මක අදියරක තිබුණ ද, එය රජයේ සම්මත නීතියක් වන්නේ නම් ඉදිරි සිනමා කටයුතුවලදී අපි ඊට අනුගතවීමට බැඳී සිටින්නෙමු. නීතිය පැනවීමට පෙර නිමැවුම් කටයුතු නිමා කර තිබූ ‘සිරිපැරකුම්’ චිත්‍රපටය මෙම නීතියට අදාළ නොකළ යුතුය යන සරල තර්කය අමාත්‍යාංශ ලේකම්තුමා සහ අමාත්‍යතුමා මඟින් ජනාධිපතිතුමා දක්වා ගෙන යාමට සිදු වූයේ සභාපතිතුමාගේ මට්ටමින් ඊට නිසි විසඳුමක් නොලද නිසාය.

මෙම කරුණ කෙටියෙන් පැහැදිලි කර මහාචාර්ය සුනිල් ආරියරත්න,ආචාර්ය සෝමරත්න දිසානායක, ජස්ටින් බෙලගමගේ, සරත් වීරසේකර (පා. ම.) ගයාන් රණධීර, සුගත් සමරකෝන්, රේණුකා බාලසූරිය, සුනිල් ටී. ප්‍රනාන්දු සහ ආචාර්ය රෝහණ වීරසිංහ යන අයගේ අත්සනින් යුතුව ඉදිරිපත් කළ ලිපිය විමසා බලා, සිරිපැරකුම් චිත්‍රපටය මෙම නීතියෙන් නිදහස් කළ යුතු බව ජනාධිපතිතුමා විසින් පිළිගෙන, අමාත්‍යාංශයට උපදෙස් දී තිබිණ. සාධාරණත්වයේ නාමයෙන් ගත් එම තීරණයට අතිගරු ජනාධිපතිතුමා, ගරු අමාත්‍යතුමා සහ ගරු ලේකම්තුමා ගත් තීරණයට අපි කෘතඥ වන්නෙමු.

රජයට දොස් නැඟීමට හා රජයට විරෝධය දැක්වීමට කුමන හෝ කරුණක් සොයමින් සිටින පිරිසකට ඒ සඳහා නිර්මාණය කරගෙන ඇති අලුත්ම කාරණය වන්නේ සිරිපැරකුම් චිත්‍රපටය මුදාහැරීමට ජනාධිපතිතුමා ඇතුළු රජයේ මැදිහත්වීමය. මෙහිදී ජනාධිපතිතුමා කර ඇත්තේ පුද්ගලික හිතවත්කමක් මත කිසිවකුට උදව් කිරීමක් නොව, අතැඹුලක් සේ පැහැදිලි, සරල කාරණාවකදී නිවැරදි, සාධාරණ තීරණය ගැනීමයි. මෙහි ඇති යථාර්ථය තේරුම් ගැනීමට අකමැති එක්තරා පිරිසක් ජනාධිපතිතුමාගේ මෙම තීරණයට එරෙහිව විරෝධතා ව්‍යාපාරයක් දියත්කර තිබීම කනගාටුවකි. විවිධ පිරිස් විසින් දියත්කර විවිධ මාදිලියේ රාජ්‍ය විරෝධී ක්‍රියාකාරකම් දෙස බලන විට මෙය පුදුමයක් ද නොවේ.

චිත්‍රපට නිෂ්පාදනය ගැන හසරක් නොදත් සභාපතිතුමාගේ විෂය නොදන්නාකම නිසා එසේ වීම පුදුමයක් නොවේ. නමුත් සිනමාවේ නිරත, චිත්‍රපටයක් නිපදවීමේ බරපතළකම සහ අවධානම ගැන දැන සිටිය යුතු සිනමාකරුවන් පිරිසක් ද සභාපතිතුමාගේ මතයට එකතු වී සිටීම විමසා බැලිය යුතු කරුණකි.

ඇතැම් විට මෙම පිරිසේ කිසිවකුටවත් දැවැන්ත පිරිවැය යොදන චිත්‍රපටයක පිරිවැය ගැන හෝ එම පිරිවැය ගැනීම සඳහා කුමක් කළ යුතු ද යන්න ගැන පලපුරුද්දක්, අත්දැකීමක් නොමැති වීම මෙසේ වීමට හේතු  වූවා විය හැක.

තමන්ගේ චිත්‍රපටවල පිරිවැය ප්‍රමාණයට හා තමන්ගේ චිත්‍රපටවලට සිටින ප්‍රේක්ෂක ප්‍රමාණයට සියලුම සිනමාකරුවන් සීමා විය යුතු යැයි ඔවුන් සිතුවා විය හැක. නැතහොත් තම තමන්ගේ දේශපාලන මතිමතාන්තර තුළින් මෙම ගැටලුව දෙස බැලුවා ද විය හැක.

පහත සඳහන් කරුණු දෙස මැදිහත් සිතින් නැවත වරක් සිතා බලන මෙන්ම මගේ සහෝදර සිනමාකරුවන්ගෙන් ඉතා සෙනෙහසින් ඉල්ලා සිටිමි.

1. බොහෝ චිත්‍රපට වසර ගණනාවක් පුරා ප්‍රදර්ශනය නොවී ගොඩ ගැසී තිබීමට හේතුව ඇතැම් චිත්‍රපට පිටපත් 35 ට වඩා මුදා හැරීම ද? පිටපත් 35 ට උපරිමයට සීමා කිරීමෙන් ඔවුන්ගේ ප්‍රශ්න විසඳේද?

2. අධික පිරිවැයක් දරා නිපදවන ‘බ්ලොක්බස්ටර්’ ගණයේ චිත්‍රපට පිරිවැය පිටපත් 35 කින් පියවා ගැනීමට නොහැකි බව ඔබ දන්නේද?

3. නීතිය ගෙන ඒමට පෙර අධික පිරිවැයක් දරා නිපැයූ සිරිපැකුම් චිත්‍රපටයට ද නව නීතිය අදාළ කර නිෂ්පාදකයින්ට පිරිවැය පියවා ගැනීමට නොහැකි වුවහොත් ඔබ සතුටු වන්නේද?

4. සිරිපැරකුම් චිත්‍රපටයට පිටපත් 35 වඩා මුදාහැරීමෙන් පාඩුවක් අසාධාරණයක් වන්නේ කුමන සිනමාකරුවාටදැයි නම් වශයෙන් හිතා බලන්න.

5. සිරිපැරකුම් චිත්‍රපටය ප්‍රදර්ශනය කිරීමට අපේක්ෂිත කිසිම සිනමාහලක සාර්ථකව ප්‍රදර්ශනය කරන කිසියම් චිත්‍රපටයක් නවතා දැමීමක් සිදුවනවාද?

6. තිරගත කිරීමට අපේක්ෂිත චිත්‍රපටයක් අවහිර කිරීමක් සිරිපැරකුම් චිත්‍රපටය නිසා සිදුවනවාද?

7. ඔබගේ විරෝධය අනුව සිරිපැරකුම් චිත්‍රපටය පිටපත් 35 කට සීමා කළහොත් ප්‍රදර්ශනයට සූදානම්ව සිටින අනිකුත් සිනමා ශාලා 20 ට සිදු වන්නේ කුමක්ද? එම සිනමා ශාලාවල පෝලිමේ තිබෙන වෙනත් චිත්‍රපටයක් පෙන්වනවාද?

8. එම සිනමාශාලා ඉඳහිට හෝ ලාබයක් ලබා, තම සිනමා ශාලාවල පාඩුව පියවා ,නොවසා, පවත්වාගෙන යන්නේ මෙසේ වසරකට එක් වරක් හෝ ලැබෙන ආකර්ෂණීය චිත්‍රපටයක් නිසා බව ඔබ දන්නේද? එසේ ආකර්ෂණීය චිත්‍රපටයක් නොලැබ ගියහොත් ඔවුනට සිදුවන පාඩුව ඔබ සතුටු වන්නේද?

9. පිටපත් 35 සීමාව දිගටම පැවතියහොත් ඔවුනට කිසි දිනක අලුත් චිත්‍රපටයක් නොලැබී යන නිසා ඔවුන්ගේ සිනමාශාලා වැසී යාමේ අවධානමක් තිබෙන බව ඔබ දන්නේද? එසේ වැසී ගියහොත් දේශීය සිනමාවේ වර්ධනය දැකීමට කැමති ඔබ සතුටු වන්නේද?

10. එම දුරබැහැර ප්‍රදේශවල සිටින සිනමා ප්‍රේක්ෂකයින්ට අලුත් චිත්‍රපටයක් තම ප්‍රදේශයේ සිනමාහලක නැරැඹීමට ඇති අවස්ථාව වළකා දැමීම ගැන ඔබගේ මතය කුමක්ද? ප්‍රේක්ෂකයින් සිනමාවෙන් ඉවත්වීම සිනමාවේ ප්‍රගතිය ද, අගතිය ද?

සොයුරු සිනමාකරුවෙනි, ඔබලාගේ ඇතැම් ප්‍රකාශවල සඳහන් කර ඇති අයුරින් මම කිසිවකුට ඊර්ෂ්‍යා කරන, කුහකකම් කරන අසාධාරණයක් කරන්නකු නෙවෙමි. මුදල් පසුපස හඹා යන ආත්මාර්ථකාමියකු ද නොවෙමි. මා එවැන්නකු නම් ඕස්ට්‍රේලියාවේ තිබූ පුරවැසිකම හා වෛද්‍ය වෘත්තිය අතහැර පෙරලා ලංකාවට විත් මෙතරම් අවධානමක් සහිතව චිත්‍රපට සැදිය යුතු නැත.

එබැවින් මම ඔබගේ ඇතැම් ප්‍රකාශවලින් හැඳීන්වීමට හදන මාදිලියේ පුද්ගලයෙක්දැයි සිතා බලන්න? කාලයත් සමඟ ඔබ මා තවත් හඳුනාගනු ඇත. මට ඔබ කිසිවකුත් සමඟ ඊර්ෂ්‍යාවක් හෝ වෛරයක් නැත.පිටපත් 35 යටතේ මගේ ආරයේ චිත්‍රපට කළ නොහැකි නිසා, මින් පසු මගේ අතින් චිත්‍රපට නිර්මාණය නොවිය හැක. එසේ වුවහොත් මා සමඟ කිසිවකුටත් තරගයක් නැත. මා ඔබ කිසිවෙකුටත් ප්‍රශ්නයක් ද නොවනු ඇත.

නමුත් නීතිය පැනවීමට පෙර නිවෙස උකසට තබා ලබාගත් පොලී මුදලින් අධික පිරිවැයක් දරා නිමැයූ සිරිපැරකුම් චිත්‍රපටය කලින් සැලසුම් කර තිබූ අයුරින් ජනතාවට ප්‍රදර්ශනය කිරීම ගැන ඊර්ෂ්‍යා නොකරන්න. මෙසේ ප්‍රදර්ශනය වුවහොත් නිවස සින්න නොවී බේරා ගැනීමට හැකි වනු ඇතැයි මම සිතමි. නමුත් සිරිපැරකුම් චිත්‍රපටය ප්‍රදර්ශනය කිරිම කිසියම් සිනමාකරුවකුට අසාධාරණයක් වන්නේ යැයි මා ඉහත අසා ඇති ප්‍රශ්නවලට පිළිතුරු දී සනාථ කරන්නේ නම් නිවෙස සින්නවීම දෙවෙනි කොට ඔබලාගේ ඉල්ලීමට එකඟවීමට මම කැමැත්තෙමි.

සෝමරත්න දිසානායක – sarasaviya

Share

45 Views 0 Ratings Rate it

Written by Cinema.lk A



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.