Victoria & Abdul ලෝකය පුරා ප්‍රදර්ශනයේ
බ්‍රිතාන්‍ය කිරුල දැරූ වික්ටෝරියා රැජින සහ ඇගේ සේවකයකු වූ Abdul Kareem නමැති ඉන්දීය මුස්ලිම් සේවකයා අතර ඇතිවූ අපුරු මිත්‍රත්වයක් පිලිබඳ කතා පුවත රැගත් Victoria & Abdul සිනමාපටය මේ වනවිට ලොව පුරා ඉමහත් ජනප්‍රියත්වයක් ලබමින් තිරගත වනවා. හාස්‍ය උත්පාදක ජිවන අත්දැකීම් සහිත වෘතාන්ත සිනමාපටයක් ලෙස මෙය නිර්මාණය කොට තිබීමත් විශේෂත්වයක්. Victoria & Abdul නමින් Shrabani Basu විසින් රචනා කරන ලද පොතක් පාදක කරගනිමින් මේ සිනමාපටය නිර්මාණය කොට තිබෙනවා. වික්ටෝරියා රැජිණ සහ අබ්දුල් අතර හුවමාරු වූ ලිපි හමුවීමත් සමග මේ සැඟවුණු කතා පුවත පිළිබඳව සොයායාමට Shrabani උනන්දු වුනා. එලෙස සොයාගත් තොරතුරු මත පදනම්ව කෘතිය රචනා කෙරුනා. Stephen Frears මේ කෘතිය ඇසුරින් අපුරු සිනමා නිර්මාණයක් කිරීමට සමත්ව තිබෙනවා. 2017 වසරේ සැප්තැම්බර් මස වැනිස් අන්තර්ජාතික සිනමා උළෙලේදී සිනමාපටය ප්‍රදර්ශනය සඳහා නිකුත් කිරීම සිදුවුනා. බ්‍රිතාන්‍ය කිරුල දරු වික්ටෝරියා රැජිණගේ ස්වර්ණ ජයන්ති මෞලි මංගල්‍ය වෙනුවෙන් ඉන්දීය මුස්ලිම් ජාතික අබ්දුල් කරීම් මාලිගාවේ සේවය සඳහා කැඳවීම් ලබනවා. එලෙස පැමිණෙන අබ්දුල් සහ වික්ටෝරියා අතර දිනෙන් දින හටගන්නා බැඳීම අපුරු මිත්‍රත්වයක් බවට පත්වනවා. අවසානයේ වික්ටෝරියා රැජිණ උර්දු භාෂාව සහ කුරානය ඉගෙන ගැනීමට පවා පෙළඹෙන්නේ අබ්දුල් ඇගේ හොඳම සහ සමීපතම මිතුරා බවට පත්වීම හේතුවෙන්. රජ මාලිගයේ රැජිණගේ පවුල සහ සමීපතමයින් මෙන්ම නිලධාරින් සමගත් ඇතිවන විවිධ හැලහැප්පීම් මැද වික්ටෝරියා සහ අබ්දුල්ගේ මිත්‍රත්වය ගලායන අයුරු මේ සිනමාපටය නැරඹීමෙන් රසවිඳිය හැකියි. Judi Dench, Ali Fazal, Michael Gambon, Eddie Lzzard, Tim Pigott ඇතුළු නළු නිලි පිරිසක් රංගනයෙන් දායකත්වය සපයනවා.
Written by Nisanka Weheraduwa
