විසල් ආදරේ එළඹෙන නොවැම්බරයේදී…

Avatar Kavinu Weerakkody | July 7, 2023 147 Views 0 Likes 0 Ratings

147 Views 0 Ratings Rate it

පසුගිය වසරේදී තිරගත වූ “ආදරණීය ප්‍රාර්ථනා” චිත්‍රපටයේ නිර්මාණකරුවන් වූ වාසව බදුගේ – යසස් මැදගෙදර සුසංයෝගයෙන් තවත් නවතම සිංහල සිනමාපටයක නිෂ්පාදන කටයුතු ආරම්භ කොට තිබෙනවා. පසුගිය වසරේ සිනමාහල් වලට නිකුත් වුනු ලාංකීය චිත්‍රපට අතුරින් වැඩිම සාර්ථකත්වයක් ලැබූ නිර්මාණයක් බවට පත්වන්නට ආදරණීය ප්‍රාර්ථනා චිත්‍රපටයට හැකියාව ලැබුනු අතර Romance ශානරයේ සිනමාපටයක් වෙනුවෙන් මෑතකදී දක්නට ලැබුනු වැඩිම රසික ආකර්ෂණය හිමිවූයේ ද “ආදරණීය ප්‍රාර්ථනා” වෙනුවෙනුයි.
දිවයින පුරා සිනමා හල් බොහෝමයක Houseful දර්ශන වාර රැසක්ම ආදරණීය ප්‍රාර්ථනා සිනමාපටයට වෙන් වූයේ, එම සිනමාශාලා තුළ සිංහල චිත්‍රපටයක් වෙනුවෙන් මෑතකදී දක්නට ලැබුනු වැඩිම රසික පිරිසත් වාර්තා කරමින්…

තිරගත වීම අවසන් කරන විට රුපියල් කෝටි 6කට අධික Box Office වාර්තාවක් සමඟින් MPI මණ්ඩලයෙන් නිකුත් වුනු චිත්‍රපටයක් වාර්තා කළ ඉහළම ආදායම රැස්කරගන්නටත් ආදරණීය ප්‍රාර්ථනා සිනමාපටයට හැකියාව ලැබුනා.
එවැනි දැවැන්ත සාර්ථකත්වයක් ලැබූ තම පළමු නිර්මාණයට පසුව, තවත් අලුත්ම සිංහල වෘතාන්ත – සිනමාපටයක් වෙනුවෙන් ඔවුන් පිරිස දැන් යළිත් එකතු වී සිටිනවා.

අද සිනමාවේ ජනප්‍රියම නලු නිළියන් සිව් දෙනෙකු ප්‍රධාන චරිත සඳහා රංගනයෙන් එක් වන මෙම නවතම සිංහල චිත්‍රපටය නම් කර තිබෙන්නේ “විසල් ආදරේ (Visal Adare)” යනුවෙනුයි.

චිත්‍රපටයේ ප්‍රධාන චරිත සඳහා රංගන දායකත්වය ලබා දෙන්නේ දිනක්ෂි ප්‍රියසාද් සමඟින් සචින් ලියනගේයි. ඊට අමතරව නිමේෂ් වීරංග සහ රශිප්‍රභා සංදීපනී දෙදෙනාත් මෙහි තවත් වැදගත් භූමිකා ද්විත්වයක් නිරූපණය කරනවා.
වර්තමාන කලා ක්ෂේත්‍රයේ ජනප්‍රියම නිළියක වන දිනක්ෂි ප්‍රියසාද් ඩබල් ට්‍රබල්, මේ වාගේ ආදරයක්, සූම්, සුපර්ණා වැනි සිනමාපට කිහිපයකින්ම මින් පෙර රසිකයින්ට සමීප වුනා. මේ ඇය සම්බන්ධ වන හත්වන සිනමා නිර්මාණයයි.

නමුත් “විසල් ආදරේ (Visal Adare)” හි ප්‍රධාන චරිත රඟන සචින් ලියනගේ නම් මින් පෙර සිනමාවට සම්බන්ධ වී නැති බවයි අන්තර්ජාලයේ සඳහන් වන්නේ. ඔහු මෙරට රසිකයින්ට සමීප වූයේ පුංචි තිරය – ටෙලිනාට්‍ය හරහායි.

විසල් ආදරේ (Visal Adare) නළු නිළි කැළ හඳුන්වාදෙමින්, එහි නිෂ්පාදකවරුන් විසින් නිකුත් කළ නිල වීඩියෝපටයත් ඔබට දැන් නැරඹිය හැකියි.

විසල් ආදරේ නිර්මාණකරුවන්ගේ පළමු නිර්මාණය වූ “ආදරණීය ප්‍රාර්ථනා” චිත්‍රපටයටත් නිමේෂ් වීරංග සම්බන්ධ වූ අතර ඔහු එහි කැපී පෙනෙන රංගනයක් ඉදිරිපත් කළා. 2022 වසරේදී තිරගත වූ “නිමි”, රශිප්‍රභා සංදීපනීගේ පළමු චිත්‍රපට රංගනයයි. ඉන්පසුව ඉන්දීය සිනමාපටයක ප්‍රධාන භූමිකාවක් රඟපාන්නටත් ඇයට අවස්ථාව හිමිවුනා.

මෙම නොවැම්බර් මාසයේදී දිවයින පුරා සිනමාශාලා වලට සිනමාපටය මුදා හරින්නටයි ඔවුන් සූදානමින් සිටින්නේ. විසල් ආදරේ (Visal Adare) හි තිර පිටපත රචනා කොට තිබෙන්නේ “බීර සුවඳැති හාදු” කෘතියේ රචිකාවිය වන දිල්ෂි තත්සරණි විසිනුයි. සංගීත තනු නිර්මාණයට සුපුරුදු පරිදි යසස් මැදගෙදර එක්වී තිබෙනවා.

මෙය වාසව බදුගේ විසින් අධ්‍යක්ෂණය කරන දෙවන චිත්‍රපටයයි. සංගීත රූප රචනා නිර්මාණකරුවෙකු වශයෙන් මෙරට රසිකයින් අතරෙ හි ජනප්‍රිය වී සිටින ඔහු, සිනමා අධ්‍යක්ෂණයට පිවිසියේ පසුගිය වසරේදී ආදරණීය ප්‍රාර්ථනා හරහා යි. සිනමාපටයේ කැමරාකරණය සිදු කොට තිබෙන්නේ ද අධ්‍යක්ෂක වාසව බදුගේ විසින්මයි. ධනුෂ්ක පෙරේරා මෙහි සහාය අධ්‍යක්ෂකවරයායි. සඳරුවන් පෙරේරා සහ වාසව බදුගේ එකතුවෙන් සංස්කරණ කටයුතු සිදු කොට තිබෙනවා.

සිනමාපටයේ නිෂ්පාදන සැලසුම්කරණයෙන් සිල්වාත්, නිෂ්පාදන කළමනාකරණයෙන් නිරෝශන් වෙලගෙදරත්, සම්බන්ධයි. ගීපද රචනය ශෙහාන් ගලහිටියාව සහ සජිත් අක්මීමන දෙදෙනායි. ඔවුන් දෙදෙනා වාසවගේ පළමු චිත්‍රපටය වූ ආදරණීය ප්‍රාර්ථනා හි ගීත රචනයටත් එක්වුනා.
රසිත කාවින්ද මෙහි ශබ්ද පරිපාලකවරයායි. හර්ෂ මාදව වේෂ නිරූපණ ශිල්පියායි. චිත්‍රපටයේ නිශ්චල ඡායාරූපකරණයෙන් එක්ව තිබෙන්නේ විරාජ් ෆර්නෑන්ඩු යි.

ශ්‍රී ලංකාවට අමතරව ඕස්ට්‍රේලියාව, නවසීලන්තය සහ ඇමරිකාව ආශ්‍රිතවත් මෙහි පුළුල් තිරගත කිරීමක් සිදු කරන්නටත් නිෂ්පාදකවරුන් විසින් සැලසුම් කරමින් සිටිනවා. Mega Live Events ආයතනයෙන් ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය පුරා චිත්‍රපටය නිකුත් කරන අතර කැනඩා සහ ඇමරිකානු ප්‍රදර්ශනය සිදු කරන්නේ Ceylon Entertainment Canada හරහායි.

මෙරටට MPI මණ්ඩලයේ බෙදා හැරීමක් ලෙසින් නිකුත් වන “විසල් ආදරේ” සිනමාපටය නිෂ්පාදනය කරන්නේ Bluesky Productions සහ Midhouse Studios සුසංයෝගයෙනුයි.

Share

147 Views 0 Ratings Rate it

Written by Kavinu Weerakkody


  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.