ආයු – ළඟදීම සිනමා හලට

Avatar Kavinu Weerakkody | April 17, 2023 115 Views 0 Likes 0 Ratings

115 Views 0 Ratings Rate it

චත්‍ර වීරමන්, සිය පළමු සිනමා නිර්මාණයෙන්ම මෙරට ප්‍රේක්ෂකයින්ගේ අවධානයට ලක්වුනු තරුණ සහ දක්ෂ සිනමාකරුවෙක්. ඔහුගේ මුල්ම සිනමාපටය වූ, “ආලෝකෝ උදපාදි” මෙරට වැඩිම පිරිවැයක් දරා නිෂ්පාදනය කළ චිත්‍රපටයක් වගේම ගුණාත්මක බවින් ඉහළ මට්ටමක තිබුනු සිනමා කෘතියක් බවට බොහෝ දෙනෙකුගේ ඇගයුමට පාත්‍ර වූ නිර්මාණයක්.
පළමු චිත්‍රපටයෙන් වසර කිහිපයක නිහැඬියාවකට පසුව, චත්‍ර සිය දෙවන චිත්‍රපටයත් ලාංකීය රසිකයින් අතරෙ හි මුදා හරින්නට දැන් කටයුතු සැලසුම් කරමින් සිටිනවා. එය නමින් “ ආයු (AYU)”…

ආයු (AYU) සිංහල සිනමාපටය දිග හැරෙන්නේ චත්‍ර වීරමන්ගේ පළමු නිර්මාණයට වඩා බෙහෙවින්ම වෙනස් කතා තේමාවක් ඔස්සේයි. ඔහුගේ පළමු නිර්මාණය ආලෝකෝ උදපාදි, වළගම්බා රජුගේ කාල සීමාව පසුබිම් කොටගත් ඉතිහාස – යුධමය ශානරයට අයත් චිත්‍රපටයක් වුවත්, ආයු ඊට වඩා හාත්පසින්ම වෙනස් Emotional – Drama වර්ගීකරණයට අයත් වන චිත්‍රපටයක්.

ආයු (AYU) සිනමාපටය ගෙතෙන්නේ නිශ්මි නැමැති තරුණ කාන්තාව වටායි. නොසිතූ මොහොතකදී ඇයට මුහුණ දීමට සිදුවන සිදුවීමක් නිසා නිශ්මිගේ ජීවිතය වෙනස් වන අයුරුත්, කෙමෙන් කෙමෙන් නව ජීවිතයට හැඩ ගැසෙන්නට ඇය දරන උත්සාහයත්, මෙම චිත්‍රපටය තුළින් කියාපානවා.
නිශ්මි වෘත්තියෙන් ළමා රෝග විශේෂඥවරියක්. තමා ගැබ් ගෙන තිබෙන බව දැන ගන්නා ඇය තමන්ගේ සැමියාට ඒ ගැන පවසා ඔහුව පුදුම කිරීමට සූදානම් වුවත්, ඊට පෙර ඇයව දරුණු රිය අනතුරකට භාජනය වනවා. එම රිය අනතුරින් නිශ්මිට බරපතල තුවාල සිදු වන අතර ඇගේ දරුවා මිය යනවා. මෙම සිද්ධියෙන් කම්පනයට ලක්වන ඇයව තවත් මානසික පීඩනයට ලක් වන්නේ තම සැමියා සහ ඔහුගේ පවුලේ පුද්ගලයින්ම නිශ්මිව පවුලෙන් ඈත් කිරීමත් සමඟයි.
බිඳ වැටුනු ජීවිතය නැවතත් ගොඩ නඟා ගැනීමට උත්සාහ දරන නිශ්මිට, තම පවුල තුළට හුදකලා වීමටයි එහිදී සිදුවන්නේ… අවසානයේදී ඔවුන් සියලු දෙනාගෙන්ම ඈත් වීමටත්, වසර ගණනකට පෙර හමුවූ ඇගේ මිතුරියක සොයා යෑමටත් නිශ්මි තීරණය කරනවා. නිශ්මිගේ මෙම සංචාරයට සහාය දෙන්නේ සචින් නැමැති beach boy තරුණයෙකුයි.
ආයු (AYU) සිංහල චිත්‍රපටය ගෙතෙන්නේ නිශ්මිගේ මෙම සොයා යෑම සහ එයින් වෙනස් වන ඇගේ ජීවිතය වටායි.

චිත්‍රපටයේ ප්‍රධාන භූමිකාව වන නිශ්මිගේ චරිතය සඳහා සැන්ඩ්‍රා මැක් රංගන දායකත්වය ලබා දෙන අතර බීච් බෝයි චරිතයට පණ පොවන්නේ ජගත් මනුවර්ණයි. අශාන් ඩයස් විසින් රවීගේ චරිතයත්, කෙනාරා වීරතුංග විසින් ආයුගේ චරිතයත් රඟපානවා. නිශ්මිගේ මවගේ භූමිකාවට රංගනයෙන් එක්වන්නේ මෙරට නිළි රැජින ලෙස හැඳින්වෙන මාලිනී ෆොන්සේකා මහත්මියයි. මෙය ඇය රංගනයෙන් එකතු වන 150වන චිත්‍රපටය වීම තවත් සුවිශේෂීත්වයක්!
ඊට අමතරව තුමිඳු දොඩන්තැන්න, දසුන් පතිරණ, ප්‍රියන්ත සිරිකුමාර, උදාර අබේසුන්දර, නලීන් ලුසේනා, කසුනි කාවින්දි, අකලංක ප්‍රභාෂ්වර, සම්පත් ජයවීර, දිනුෂිකා සෙනවිරත්න වැනි මෙරට කලා ක්ෂේත්‍රයේ චරිතාංග නලු නිළියන් රැසක්ම ආයු (AYU) චිත්‍රපටය තුළින් ඔබට දැකගත හැකියි. චිත්‍රපටයේ රූගත කිරීම් සිදුව තිබෙන්නේ මිරිස්ස ප්‍රදේශය ආශ්‍රිතවයි.

චිත්‍රපටයේ නිල පූර්ව ප්‍රචාරක පටය:

මේ වනවිටත් ජාත්‍යන්තර සිනමා උළෙල ගණනාවකදී මෙම නිර්මාණය තිරගත වී තිබෙන අතර විදෙස් සම්මාන කිහිපයක් ජයග්‍රහණය කිරීමටත් එය සමත් වුනා. පසුගියදා ඇමරිකාවේ කැලිෆෝනියා හිදී පැවත්වූ පළමුවන Ceylon International Film Festival උළෙලේදී මෙම චිත්‍රපටය නිර්දේශ වූ තරඟකාරී සම්මාන ගණන 07ක්.
ඉන්දියාවේ ත්‍රිෂූර් ජාත්‍යන්තර සම්මාන උළෙලේදී (International Film Festival of Thissur) සහ මෙල්බර්න් ඉන්දියානු සිනමා උළෙලේදී (Indian Film Festival of Melbourne) ආයු විදෙස් ප්‍රේක්ෂකාගාරය සඳහාත් තිරගත වූවා.
ඊට අමතරව ස්පාඤ්ඤයේ පැවැත්වූ 08වන බාසිලෝනා ආසියානු සිනමා උළෙල නියෝජනයට කිරීමටත් මීට හැකිවුනා.

මෙරට සිදු වුනු සත්‍ය සිදුවීමක් පාදක කොටගත් මෙහි කතා සංකල්පය සමන් වීරමන්ගෙනි. තිර පිටපත රචනා කර තිබෙන්නේ චත්‍ර වීරමන් සහ ශක්ති වීරසිංහ එකතුවෙනි. සිනමාපටයේ කැමරාව හසුරුවන්නේ දැවෙන විහඟුන් – ඉර හඳ යට ලාංකේය චිත්‍රපට ද්විත්වයේ සහ විදෙස් නිර්මාණ ගණනාවක කැමරා අධ්‍යක්ෂකවරයා ලෙස කටයුතු කර තිබෙන කාලිංග දේශප්‍රිය විතානගේයි.
සංගීතය මිලින්ද තෙන්නකෝන්ගෙනි. ඔහු මීට පෙර වියසිදුරු, කවුරුත් දන්නෙ නෑ චිත්‍රපටවල සංගීතය නිර්මාණකරණයට සම්බන්ධ වූ අතර චත්‍ර වීරමන්ගේ මුල්ම චිත්‍රපටය වූ ආලෝකෝ උදපාදි හි සංගීත අධ්‍යක්ෂකවරයා වූයේත් ඔහුයි.

සමන් ඇල්විටිගල මෙහි සංස්කරණ ශිල්පියායි. නිෂ්පාදන සැලසුම්කරණයෙන් බිමල් දුෂ්මන්ත එක්ව සිටින අතර චිත්‍රපටයේ කලා අධ්‍යක්ෂණය සිදු කර තිබෙන්නේත් ඔහු විසිනුයි. ඇඳුම් නිර්මාණකරණය කුමාර කරව්දෙණියයි. හරූන් ශයිඩීන් සහ හර්ෂ මංජුල ශ්‍රීලාල් වේශ නිරූපණයට එක්ව තිබෙනවා. ශබ්ද පරිපාලනය සසික රුවන් මාරසිංහගෙනි. චිත්‍රපටයේ වර්ණ සංයෝජනය සිදු කර තිබෙන්නේ දිනිඳු ජාගොඩයි.

නිෂ්පාදන කළමනාකරණයෙන් ඉරේෂ් කරුණාරත්න සහ සහාය අධ්‍යක්ෂණයෙන් චාමර සේලාර සම්බන්ධ වී තිබෙනවා. රේඛීය නිෂ්පාදනය ප්‍රිමාල් රණසිංහ සහ සශික ගනේගොඩගෙනි.
ආයු (AYU) චිත්‍රපටයේ නිෂ්පාදකවරයා විශ්‍රාමික යුධ හමුදාපති දයා රත්නායක වන අතර සම – නිෂ්පාදනය අනුරාධ වීරමන් සහ සමන් වීරමන් සුසංයෝගයෙනි.

නුදුරු දිනකදීම දිවයින පුරා සිනමා හල්වලදී මෙම අපූරු සිනමා නිර්මාණය ඔබට නැරඹිය හැකියි.

Share

115 Views 0 Ratings Rate it

Written by Kavinu Weerakkody


  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.