හීන හතහමාරක් පොඳි බැඳන් “වාලම්පුරි” ළගදීම

Avatar Kavinu Weerakkody | October 31, 2023 515 Views 0 Likes 0 Ratings

515 Views 0 Ratings Rate it

ලක්මාල් ධර්මරත්න මෙරට රසිකයින් අතරෙ හි ජනාදරයට පත් වුනේ කූඹියෝ ටෙලි නාට්‍යයත් සමඟයි. එතෙක් මෙරට විකාශනය වූ කිසිදු ටෙලි වෘතාන්තයකට නොදෙවෙනි ජනප්‍රියත්වයක් ලැබූ කූඹියෝ ටෙලි නාට්‍යය මෙරට ප්‍රධාන සම්මාන උළෙල කිහිපයකදී සම්මානයටත් පාත්‍ර වුනා.
එය ලාංකීය ටෙලිනාට්‍ය ඉතිහාසයේ සුවිශේෂී සලකුණක් සනිටුහන් කළ බව අදටත් බොහෝ දෙනෙකු විශ්වාස කරන කරුණක්!

කූඹියෝ ටෙලි වෘතාන්තයේ අධ්‍යක්ෂකවරයා වශයෙන් ලක්මාල් ධර්මරත්න විශාල ප්‍රේක්ෂක අවධානයක් දිනා ගත්තද, පසුගිය සමයේදී ඔහු අධ්‍යක්ෂණය කළ කිසිදු නිර්මාණයක් මෙරට ටෙලනාට්‍ය – සිනමා රසිකයින්ට දැකගන්නට ලැබුනේ නැහැ.
නමුත් මෙම වසර මුලදීම සිය අධ්‍යක්ෂණය යටතේ නවතම චිත්‍රපටයක නිෂ්පාදන කටයුතු ආරම්භ වූ බවට පැවසීමත් සමඟ, කූඹියෝ ටෙලි නාට්‍යය වටා බැඳුනු රසික ප්‍රජාව එම නව සිනමාපටය ගැනත් සිය අවධානය යොමු කරන්නට පටන් ගත්තා.

“වාලම්පුරි: හෙවත් හීන හතහමාරක්” යනුවෙන් නම් කොට තිබෙන මෙම නවතම චිත්‍රපටය, මෙරට ජනප්‍රිය නලු නිළියන් රැසකගේ රංගනයෙන් හැඩවී තිබෙනවා. ‘වාලම්පුරියක්’ විකිණීමට උත්හාස දරන පුද්ගලයින් කිහිප දෙනෙකු සහ ඔවුන්ගේ උපාය වැරදීමත් සමඟ මුහුණ දෙන්නට සිදුවන අනපේක්ෂිත සිද්ධි දාමය වටායි මෙම සිනමාපටය දිවෙන්නේ…

මෙහි කතාව සහ තිර පිටපත ලියා තිබෙන්නේ ද කූඹියෝ ටෙලි නාට්‍යය රචනා කළ දමිත චන්ද්‍රසිරි විසින්මයි. අධ්‍යක්ෂක ලක්මාල් ධර්මරත්නත් තිර පිටපත් රචනය සඳහා එකතු වී තිබෙනවා.

මේ වනවිට ලක්මාල් ධර්මරත්නගේ අධ්‍යක්ෂණයෙන් හැඩවන එම නවතම සිංහල චිත්‍රපටයේ පළමු ටීසර්පටයත් අන්තර්ජාලයට නිකුත් කොට තිබෙනවා. පහත සබැඳිය ඔස්සේ ඔබට එය නරඹන්නට පුලුවන්.

 

මේ වනවිට රූගත කිරීම් සියල්ලම පාහේ අවසන් වී තිබෙන මෙම “වාලම්පුරි” සිනමාපටයෙ හි ප්‍රධාන චරිත සඳහා රංගනයෙන් දායක වන්නේ ප්‍රියන්ත සිරිකුමාර – දිල්හානි ඒකනායක – සරත් කොතලාවල – තුමිඳු දොඩන්තැන්න – වසන්ත මොරගොඩ – අශාන් ඩයස් – අංජන ප්‍රේමරත්න – ඇන්ඩෘ පුල්ලේ – උදයන්ති කුලතුංග වැනි මෙරට සිනමාවේ අත්දැකීම් බහුල නලු නිළියන් පිරිසකුයි.
තුමිඳු දොඩන්තැන්න මීට පෙර කූඹියෝ ටෙලි නාට්‍යමාලාවේ ප්‍රධාන චරිතයකටත් පණ පෙවූ අතර පසුගිය දිනෙක දිවි ගමනින් සමුගත්, දක්ෂ රංගන ශිල්පියෙකු වූ දර්ශන් ධර්මරාජ් ද “වාලම්පුරි” සිනමාපටයෙන් දැකගත හැකියි.

චිත්‍රපටයේ විධායක නිෂ්පාදනය අසංක දොඩන්තැන්න – ප්‍රදීප් පෙරේරා විසිනි. මීට පෙර, කූඹියෝ ටෙලි නාට්‍යයේ නිෂ්පාදන පිරිවැය දැරුවේත් අසංක දොඩන්තැන්නයි.

ඉර හඳ යට, දැවෙන විහඟුන්, ආයු වැනි ලාංකීය චිත්‍රපට රැසක කැමරාකරණයෙන් සම්බන්ධ වෙමින්, දෙස් විදෙස් සම්මානයෙන් පිදුම් ලද කාලිංග දේශප්‍රිය වාලම්පුරි චිත්‍රපටයේ කැමරා අධ්‍යක්ෂකවරයායි. චින්තක ජයකොඩිගේ සංගීතයෙන් හැඩවන මෙහි අංග රචනය ප්‍රියන්ත දිසානායක විසිනි. සංඛ මල්වත්ත චිත්‍රපටයේ සංස්කරණ ශිල්පියායි.

නුවන් සනුරන්ඛ නිෂ්පාදන සැලසුම්කරණයෙන් සහ ලසන්ත උඩුකුඹුර ඇඳුම් නිර්මාණකරයෙන් මීට සම්බන්ධ වී තිබෙනවා. VFX නිර්මාණකරණයෙන් එක්වන්නේ නසාෆි මොහොමඩ්. තරිදු කාරියවසම් සහාය සංස්කරණයෙන් සහ චාමර සේලාර සහාය අධ්‍යක්ෂණයෙන් එක්වුනා. දිමුතු කාලිංග දහනායක සහ මජිත් උයන්ගොඩ වාලම්පුරි සිනමාපයේ කැමරාකරණයෙන් සහාය වන අතර අතුල ජයසිංහ ශබ්ද පරිපාලනයෙන් සම්බන්ධ වනවා.

අංජන ආශුබෝධ මෙහි නිෂ්පාදන කළමනාකරුයි. චිත්‍රපටයේ විධායක නිෂ්පාදනය උදාර අබේසුන්දර සහ ප්‍රිමාල් රණසිංහ එකතුවෙනි.

කූඹියෝ ටෙලි නාට්‍ය ලැබූ අසීමිත ජනප්‍රියතාවය නිසාම, එහි විකාශනය අවසන් වූ පසු කූඹියෝ කණ්ඩායමේ මූලිකත්වයෙන් නිර්මාණය වන තවත් ටෙලි නාට්‍යයක් හෝ සිනමාපටයක් ගැන මෙරට රසිකයින් බොහෝ බලාපොරොත්තු තබාගෙන සිටියා.
ඒ නිසාම වාලම්පුරි චිත්‍රපටය ගැන මේ වනවිටත් සමාජ මාධ්‍ය තුළ විශාල අවධානයක් ලැබී තිබෙනවා.
සිනමාශාලාවෙන් ඈත් වුනු ලාංකීය තරුණ ප්‍රජාව, නැවතත් සිංහල සිනමාවට ළං කරගැනීමට මෙම “වාලම්පුරි” සිනමාපටය හොඳ අවස්ථාවක් වනු නොඅනුමානයි..!!

චිත්‍රපටය තිරගත වන දිනයක් ගැන තවමත් දැනුම් දී නැතත්, බොහෝදුරට එළඹෙන 2024 වසරේදී දිවයින පුරා මෙහි ප්‍රදර්ශනය ආරම්භ විය හැකියි.

Share

515 Views 0 Ratings Rate it

Written by Kavinu Weerakkody


  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.